මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්නයක් මුල්කර ගනිමින් දෙපිරිසක් අතර පසුගිය දොළොස් වෙනිදා ගැටුම අතරතුර එම කඳවුරෙන් පැනගිය රැඳවියන් අනූ දෙදෙනා ගෙන් එකොළොස්දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අලුතෙන් රැගෙන එන රැඳවියන් හා එහි සිටින රැඳවියන් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඇති වූ ගැටුමක් නිසා ගල්, මුගුරු, සහ පොලුවලින් පහර දෙමින් සිට ඇති අතර එහිදී රැඳවියන් විසි හය දෙනකු තුවාල ලබා වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබිණි.

මෙම ගැටුම අතරවාරයේ රැඳවියන් 92ක් මධ්‍යස්ථානයෙන් පලාගිය අතර එදිනම වහා ක්‍රියාත්මක වූ වැලිකන්ද හා පුලස්තිපුර පොලිසිය යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් 35 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත් අඩංගුවට ගත් එම 36 දෙනාගෙන් විසිහයදෙනෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත්, දහදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට භාරදුන් බවත්, පලාගිය රැඳිවියන්ගෙන් 16ක් පුලස්තිපුර පොලිසියෙන්ද, තුන්දෙනෙකු වැලිකන්ද පොලිසියෙන් ද අද (14) උදෑසන විට අත්අඩංගුවට ගෙන තිබුණු බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනුණු රැඳවියන්ගෙන් 16 දෙනෙකු වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාවට මධ්‍යස්ථානයට යොමු කර තිබෙන අතර රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳිවියන් 05 දෙනෙක් තවදුරටත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර එහි රැඳවියන් 392ක් මේ වනවිට සිටින බවත්, පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වන අලි සහ ගංවතුර මධ්‍යයේ පොලිසියට දැඩි වෙහෙසක් සහ ප්‍රයත්නයක් දැරීමට සිදුවූ බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රඳවියන්, ගාල්ල මාතර හම්බන්තොට කොළඹ ඇතුළු ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් බව ද පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්න ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කරගෙන පසුගිය වසර ඇතුළත අවස්ථා කිහිපයකදී රැඳවියන් එහි ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගෙන පලාගියහ. එහිදී යුද හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් රැඳවියන් අත් අඩංගුවට ගත්හ.
මේ පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා ගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







