ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවය සඳහා රැගෙන යන බව පවසමින් ඕමානයට රැගෙන ගොස් එහිදී ගණිකා යොදවන ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ රැකියා ඒජන්සි 07ක්ද හදුනාගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ මෙරට ඒජන්තයින් සොයා විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට ගොස් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඕමානයේ රැකියාවලට ගොස් විවිධ තාඩන පීඩනවලට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත මේ වන විට රැදී සිටින කාන්තාවන් 50 කට ආසන්න පිරිසක් මුණ ගැසීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන තිබුණි
මෙම ගණිකා ජාවාරමට සම්බන්ධ ඕමානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද හඳුනාගෙන ඇත. යම් දවසක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ගුවන් තොටුපලේ දීම අත්අඩංගුවට ගත හැකි වන සේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.







