සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තිගස්වන සුළු පරාජයක් ලබා ඇත. මේ ලෝක කුසලානය කිසිවෙක් අපේක්ෂා නොකරන පෙරළි සිදුවන උද්වේගකර සටනක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.
එංගලන්ත කණ්ඩායමට එරෙහිව නේපාල කණ්ඩායම ලබා දුන් තරගය, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඇෆ්ගනිස්ථානය ලබා දුන් බිහිසුණු අභියෝගය අද ඉන් ඉහළට එක් පියවරක් තබා තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ඔස්ට්‍රේලියාව පරාදය. ලකුණ 23කින් බිහිසුණු ලෙසම පරාදය.
අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පෙරවරු 11 ට ආරම්භ වූයේ තරගාවලියේ 19 වැනි තරගය ය. කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. දැවී ගියේ සිම්බාබ්වේ කඩුළු 02ක් පමණි. පිතිකරණය ආරම්භ කරන පිතිකරුවන් දෙදෙනාගෙන් අයෙක් වූ අංක 02 පිතිකරු හා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක තඩිවනාෂේ මරුමානි පන්දු 21ක දී හතරේ පහර07ක් සමග ලකුණු 35කටත් රයන් බුරී පන්දු 30ක් තුළ ලකුණු 35කටත් දැවී ගියහ.
ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් පන්දු 56ක දී නොදැවී ලකුණු 64කි. ඉනිමේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. නායක සිකන්ද රාසා ලකුණු 25කි. පන්දු 13ක දී වේගවත් ලකුණු 25ක් ලැබූ රාසා හතරේ පහර 02ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය.
මාර්කස් ස්ටොනිස් සහ කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියාවට එල්ලවන්නේ බලාපොරොත්තු නොවූ මට්ටමේ ප්රහාරයකි. සිම්බාබ්වේ පන්දු යවන්නෝ ප්‍රබල යැයි සම්මත ඔස්ට්‍රේලියානු පිතිකරණ ඇණිය ඇඹරවූහ. සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් 08 දෙනෙක් ලකුණු 08කට අඩුවෙන් දැවි ගියහ. ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ගණන 03කි. ආරම්භක පිතිකරු ජොෂ් ඉංගිෂ් ලකුණු 08කි. කැමරන් ග්‍රීන් ලකුණ ලැබුවේ නැත. ටිම් ඩේවිඩ් ලකුණු ලැබුවේ නැත. මාකස් ස්ටොනික් ලකුණු 06කි. බෙන් ද්වාර්ෂුයිස් ලකුණු 06කි. ඇඩම් සම්පා ලකුණු 02කි. මැතිව් කුහ්නෙමන් ලකුණු නැත.

මේ තරමින් හෝ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එන්නේ මැට් රෙන්ෂෝ සහ ග්ලෙන් මැක්ස්වෙල්ට පින්සිද්ධ වන්නටය. රෙන්ෂෝ පන්දු 44ක දී සටන්කාමී ලකුණු 65ක් ලැබුවේය. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 32ක දී ලකුණු 31කි. නායක ට්‍රෙවිස් හෙඩ් ලකුණු 17කි.
පන්දු ඕවර 19.3ක් තුළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 146කට දැවී ගියහ.
සිම්බාබ්වේ වෙනුවෙන් අමතක නොවන පන්දු යැවීමක් වාර්තා කළේ බ්ලෙසින් මුසරබානිය. පන්දු ඕවර 04 තුළදී ඔහු ලබා දුන්නේ ලකුණු 17ක් පමණි. ඔස්ට්‍රේලියානු කඩුළු 04ක් ඔහු කුඩු කර දැම්මේය. බ්‍රෙඩ් එවන්ස් පන්දු ඕවර 3.3ක් තුළ ලකුණු 23ට කඩුළු 03කි. වෙලින්ග්ටන් මස්කාඩා සහ රයන් බුරී කඩුල්ල බැගින් ලැබූහ.
තරගයේ වීරයා බ්ලෙසින් මුසරබානිය. අප දැන් බලාගෙන ඉන්නේ අපේ ඛාණ්ඩයේ තරගකාරී සටන ලෙස සැලකෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය දෙසය. අපට දැනට ප්‍රාර්ථනාවක් ඇත. ඒ මේ ගැහිල්ල සිම්බාබ්වේ කණ්ඩායම අපට ගහනු බලන්නට නොලැබේවා යන්නය.







