අනුර කුමාර දිසානායකට මාස 06ක කාලයක් හෝ රට පාලනය කරන්නට දිය යුතු බවත්, ඔහුගේ ආණ්ඩුව තෝරා ගත්තේ ජනතාව විසින් බැවින් ආණ්ඩුවේ කකුලෙන් ඇදීම සිදුකිරීම සදාචාරාත්මක නොවන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි. යටිනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අනුරාධ ජයරත්න පැවසුවේ කෙසේ වෙතත් මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැති බවය. ඒ බව ජනතාවට ඒත්තු ගැනීමට කල් දිය යුතු බව ඔහු කීවේය.
එබැවින් යළිත් වැටෙන්නට නියමිත රට ගොඩගැනීම සඳහා ගෑස් සිලින්ඩරයේ ලකුණු යටතේ තරග වදින, වැටුණු රට ගොඩ ගන්නට පළපුරුද්ද සහිත රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා යටතේ වැඩකර පරිචයක් ඇති කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවය.
එහිදී අනුරාධ ජයරත්න මෙසේ ද පැවසුවේය.
ජාතික ජනබලවේගය පක්ෂය බලයට ගෙනාවේ ජනතාව . ඒ අනුව මගේ පෞද්ගලික අදහස තමයි , ඔවුන්ට තවත් මාස 6ක් , අවුරුද්දක් , එකහාමාරක් රට මෙහෙයවන්න , ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දිය යුතුයි . මොන කතන්දර දැම්මත් ආණ්ඩුව කරගෙන යන්න අපේ සහාය හෝ දිය යුතුයි . මොකද ඔවුන් මේ රටේ ජනතාවට සෑහෙන පොරොන්දු ප්‍රමාණයක් දුන්නා . රාජ්‍ය සේවක වැටුප මාස 6න් හයට වැඩි කරන බව කිව්වා . අඩු ආදායම් පවුල් වලට මාසිකව රුපියල් 25000ක දීමනාවක් දෙන බව කිව්වා . ඒ වගේ පොරොන්දු රැසක් ඔවුන් ලබාදුන්නා . දැන් අපි බලමු ඔවුන් ඒ පොරොන්දු ඉටුකරනවද කියලා .
නොවැම්බර් 14 වනදා ජන්දයට පසුව 15 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලම් දාලා බලය ගන්න අදහසක් අපිට නෑ . අපේ අපේක්ෂාව ඔවුන්ට කාලය ආණ්ඩුව කරන්න ඉඩදීමයි . ඒ හැර අපි වෙනත් ක්‍රමයට බලය ගන්න ගියොත් එය, තමන් වෙනුවෙන් පාලනයක් පත්කර ගැනීමට ජනතාවට තියෙන අයිතිය නොතකා හැරීමක් වෙනවා . ඒ වගේම එහි සදාචාරයක් ද නෑ .
ඒ නිසා අපි අනුර දිසානායකට රට පාලනය කරගෙන යන්න දෙන්න ඕන . අනුර එදා වේදිකාවේ කියපු විදිහට රට කරයිද කියා බැලිය යුතුයි . ඔවුන්ගේ වැඩ ප්‍රයෝගික ද කියා බැලිය යුතුයි . ඒ සඳහා අවස්ථාව ජනතාවට තිබිය යුතුයි . එවිට ජනතාවට පුළුවන් ආණ්ඩුව ගැන තීරණය ගන්න .
නමුත් ඔබ දන්නවා නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වෙනවා . එහිදී මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔබතමුන්නාසේලාගේ සහයෝගය සහ ශක්තිය අප කණ්ඩායමට එකතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා . ඇයි මම එහෙම ඉල්ලා සිටින්නේ ? ඔබ තමුන්නාසේලා දන්නවා , 2022 වසරේදී මේ රට මුළුමනින්ම කඩාගෙන වැටුණා . ආණ්ඩුවත් ඇදගෙන වැටුණා . ඒ අවස්ථාවේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි , විපක්ෂ නායක විසින් රටේ වගකීම භාරගැනීම . නමුත් එදා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ වගකීම ගත්තේ නෑ . මිලියන 22 ක ජනතාවගේ ඉරණම බාරගත්තේ නෑ . වැටුණු රට ගොඩගන්න ඒ අවස්ථාවේ ඉදිරිපත් වුණේ , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි .
අද රටේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක් තිබෙන නිසා එදා තිබුණු බරපතල කම නොදැනෙන්න පුළුවන් . නමුත් එදා තෙල් , ගෑස් , කිරිපිටි , බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙලාච , පෝලිම් ඇතිවෙලා තිබුණේ . මිලියන 22ක ජනතාවක් පාරට බැහැලා . එක පැත්තකින් මැති ඇමතිවරුන් හැත්තෑ ගණනක නිවාස ගිනි තියලා . ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටවත් එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණේ .
අද අනුර දිසානායක වේදිකාවේ කතන්දර කිව්වට , එදා වැටුණු රට ගොඩගන්න යෝජනාවක්වත් ගෙනාවේ නෑ . එදා රට වෙනුවෙන් ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා පමණයි . එදා එතුමා නොහිටින්න මේ රට බංග්ලාදේශයක් වෙනවා . නැත්නම් වෙනිසියුලාවක් වෙනවා . අද වෙනකොට බංග්ලාදේශයේ කර්මාන්තශාලා විතරයි 286ක් වැහිලා . හරියට විදුලිය දීගන්න අසමත් වෙලා . එදා අපේ රට දුෂ්කරතාවට පත්ව හිටපු අවස්ථාවේ අපේ රටට සහනයක් ලෙස බංග්ලාදේශය ඩොලර් මිලියන 200ක ණයක් දුන්නා. නමුත් අද එදාවේල පිරිමසා ගන්න බැරුව , ඩොලර් බිලියන 6-7ක් වගේ මුදලක් ඉල්ලගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා .
එදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා නොහිටින්න මේ රටට වෙන්න තිබුණ දේ හිතාගන්න පුළුවන් නේද ? ඒ නිසා තමයි අපි පසුගිය මැතිවරණයේ දී එතුමාට සහාය දුන්නේ . අපි අවංකව විශ්වාස කළා හිටපු ජනාධිපතිවරයා මේ රට ගොඩනැගීම වෙනුවෙන් ඉදිරිපත් කල වැඩපිළිවෙල සමඟ තවත් අවුරුදු කිහිපයක් රට ඉදිරියට යායුතුයි කියලා . පාට පක්ෂ ගැන නොහිතා ඒ තීරණය ගත්තේ එයින් රටට හොඳක් වෙන නිසයි . අපි පසුගිය සැප්තැම්බර් 21 වනදා දක්වා කිව්වේ ඒ කතාවයි . අපි ඒ ගත්ත තීරණය හරිද වැරදිද කියලා තවත් අවුරුද්දක් , එකහාමාරක් යන විට තහවුරු වෙයි .
නොවැම්බර් 14 වනදා පැවැත්වෙන ජන්දයේදී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍ය වෙන්නේ 2022 වසරේදී ඇද වැටුණු මේ රට ගොඩගැනීමේ අත්දැකීම තිබෙන පිරිස වන නිසයි . ඒ නිසා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා තවත් අවුරුද්දක් එකහමාරක් යන තැන මේ රට බාරගන්න හැකියාව ඇති , ගෞරවනීය විපක්ෂයක් ඊළඟ පාර්ලිමේන්තුවේ බිහිකර ගන්න සහාය ශක්තිය එකතු කරන්න කියලා . ඔළුගෙඩි සෙල්ලම් දාලා බලය ගන්න උත්සාහයක් අපේ නෑ . නමුත් රට නැවත වැටෙන්න ගියොත් , එතැනදී ආණ්ඩුව ගන්න සුදුසු කණ්ඩායම ලෙස අපි සූදානමින් සිටිනවා . එසේනම් ඔබතුමන්ලා නොවැම්බර් 14 වනදා පත්කරන ඔළුගෙඩි වලින් තමයි මේ රට පාලනය වෙන්නේ සහ ඉස්සරහට ගෙනියන්න සිදුවෙන්නේ .
ඒ නිසා ඔබ තමුන්නාසේලා නොවැම්බර් 14 වනදා යොදන කතිරය රටේ අනාගතය වෙනුවෙන් වන කතිරයක් බව සිහියේ තබා ගන්න . ඒ ගැන වගකීමක් ඇතුව කතිරය යොදන්න . වගකිව යුතු විපක්ෂයක් සමඟ ගෞරවනීය පාර්ලිමේන්තුවක් හදන්න . එහිදී අපි අපේ වගකීම් කොටස ඉටුකරන බවට සහතික වෙනවා .







