ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් වූ මෙහිදී ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එක්ව සිටියහ.







