පවතින ඉන්ධන අර්බුදයෙන් රටම අකර්මණ්‍ය විය හැකි අවදානමක් තිබිය දී රජයේ මැති ඇමතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් මුලින්ම ආදර්ශයක් සැපයිය යුතු බවත්, ඇන්ජින් ධාරිතාව 2000ට වැඩ ( 2000CC) කිසිදු පුද්ගලික වාහනයක් මාර්ගවල ගමන් කිරීම තාවකාලිකව තහනම් කරමින් නීතියක් රැගෙන ආ යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
අද ආණ්ඩුවේ මැති ඇමතිවරු හා දේශපාලනඥයින් විදේශ රටවලින් ලැබෙන සහනාධාර භාර ගැනීම සඳහාත් සුපිරි වාහන පිරිවරාගෙන ගමන් කිරීම සුලභ දසුනක් බව පවසන මන්ත්‍රීවරයා මැති ඇමතිවරු ඇතුළු සියලුම දෙනා ආදර්ශයෙන් කටයුතු කර පෙන්විය යුතු කාලය එළඹ ඇති බව කීවේය.
පවතින ඉන්ධන අර්බුදය සෑම සියුම් තැනක්ම අධ්‍යයනයෙන් යුතුව කළමනාකරණය කරගැනීමට රජය මැදිහත් නොවුනහොත් රටටම දරුණු ප්‍රතිවිපාක අත් වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.
රජයේ කාර්යාල පද්ධතිය එක් වරම සතියකට දින දෙකක්වත් වසා දැමීම, පාසල් පද්ධතිය දින දෙකක්වත් වසා දමා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් යොමු කිරීම රාජ්‍ය වැය අවම කරගැනීමට යුහුසුළුව කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
Discussion about this post