-
අගමැතිනිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය ඉහළට ගන්න යද්දී අධ්‍යාපන අමාත්‍යාශංය තුළින්ම බාධා එන ලකුණු!
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශිෂ්ට අධ්‍යාපන සැලැස්මක් රජය විසින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති පරිසරයක එම සැලැස්ම සාර්ථක කිරීමේ ප්‍රමුඛ වගකීම් දැරිය යුතු විශේෂ අධ්‍යාපන ගුරුවරුන් බිහිවීම සීමා කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සදහා විශේෂ අධ්‍යාපන ගුරු සිසුන් බඳවා ගැනීම කප්පාදු කිරීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව, රටේ පවතින විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු පුරප්පාඩු සම්බන්ධව දැනුම්වත්වීමක් රහිතව 2021 සහ 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශේෂ අධ්‍යාපන විෂය සඳහා සිංහල මාධ්‍යයෙන් ගුරු සිසුන් බඳවා ගැනීම වසර දෙකට ලංකාවෙන්ම 30 දෙනෙකුට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
ඒ අනුව 2021 වසරේ ගුරු සිසුන් 15ක් සහ 2022 වසරේ ගුරු සිසුන් 15ක් ලෙස වසර දෙකටම 30 දෙනෙක් පමණක් බඳවාගෙන ඇති අතර 2023 වසර සඳහා ද සිංහල මාධ්‍යයෙන් විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය සඳහා ගුරු සිසුන් බඳවා ගැනීමේ දී වසරකට 30 දෙනෙකුට පමණක් සීමා කර ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය ඇති කර තිබෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විශේෂ අධ්‍යාපන විෂයෙහි දැවැන්ත පරිවර්තනීය වෙනසක් කිරීමට රජය සැලසුම් කර තිබෙද්දි වීමත් ඒ සදහා ප්‍රමුඛම සම්පත් පුද්ගලයින් නිර්මාණය කරන පාඨමාලාව මේ ආකාරයෙන් කප්පාදු කර තිබීම ඒ අනුව ගැටලු සහගත බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ ඉදිරි ස්ථාවරය සම්බන්ධව අධ්‍යාපන ඇමතිනී අගමැති ආචාර්ය හරිනී අමරසූරිය විසින් එම ක්ෂේත්‍රයේ විද්වත් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ 2025 සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිය 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවය.
අගමැතිනිය එම හමුවේ දී මෙසේ ප්‍රකාශ කළාය.
“විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදු සමාජය තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පිළිගැනීමක් සැකසිය යුතුයි. Clean sri lanka ව්‍යාපෘතිය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ එම කාර්යය සිදු කරගන්න.
අපේ රටේ ප්‍රතිපත්ති ඕන තරම් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නේ. අපි දකින විදියට මෙතන විශේෂම දෙයක් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ වෙලාවේ 2025 වර්ෂයේ අයවැය මගින් විවිධ කාර්යයන් සඳහා නිශ්චිතවම මුදල් වෙන්කරලා තියෙන්නේ.”
“අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයන් අපි ඒකට පත් කරලා තියෙනවා.”
මේ මොහොතේ අපි අධ්‍යාපනය විශාල පරිවර්තනයක් සකස් කරමින් ඒකට සූදානම් වෙමින් යනවා. එතකොට ඒකට අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් යන්නේ, 2026 තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ. මේක දීර්ඝකාලීන සැලැස්මක්. මේක මුළු පද්ධතියම වෙනස් කරන එකක්. අනිවාරයෙන්ම එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.”
“සෑම පාසලකම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සාමාන්‍ය පරිදි අධ්‍යාපනයේ යෙදවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේක විශාල ක්‍රියාවලියක්. එකවරම ඒක කරන්න බෑ ක්‍රමක්‍රමයෙන් එම අරමුණු ඉෂ්ට කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ”
“මෙහි මූලික පියවරක් වශයෙන් අවම වශයෙන් එක් අධ්‍යාපන පරිපාලන කලාපයක එක පාසලකවත් මෙම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු තත්ත්වයට පත්කිරීමට අපි කටයුතු කරනවා.”







