හැටන් රංජිත් රාජපක්ෂ –
අවිවාහක අවු 35 හැවිරිදි කාන්තාවක ලිංගික අපරාධයක් කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ වින්දිතයාට රු ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් , මහධිකරණයට රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය ඊයේ (13) දින නියෝග කලේය.
මෙසේ බරපතල වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් හයිපොරස්ට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කල ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති පුද්ගලයාට ය..
එම සිර දඩුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඩුවම තවත් වසර තුනකින් දිර්ඝ කර ඇත.
2019 වසරේ එම කොස්තාපල්වරයා හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 වසරේ කොස්තාපල්වරයාට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.
එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ශනයක් සිදු කර තිබිණි.
පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අභියාචණාවක් මත යලිත් ඔහු එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා තිබිණි.







