අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂී සුරසිංහ විජේරත්න සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ කළමනාකාර සහකායෙක් වූ කැකුලන්දල ලියනගේ ඉන්දික නැමැති දෙදෙනාත්, කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ නැමැත්ති පුද්ගලයාත් ඇතුළු තිදෙනා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ නියෝග කළේය.
ඒ ඊයේ (17) රාත්‍රියේ මෙම චූදිතයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබිණි.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය අයිතම වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහලවෙත ලබාගෙන රුපියල් 17500කට රෝගීන්ට ලබා දිය හැකි පසුබිමක එම අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර තමන් විසින් පාලනය වන බාහිර ආයතනයකින් රෝහලේ තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට දෙලක්ෂ ලක්ෂ පනස් දහසක් දක්වා මිලකට අලෙවි කිරීමේ නින්දාසහග දූෂණය සිදුකර ශ්‍රී ජයවර්ධනපු රෝහලට මෙන්ම රෝගීන්ටත් අගතියක් සිදුකරමින් තමන් හෝ තමන් අනුදත් පාර්ශවයකට අධික ලාභ උපදවාදීම සම්බන්ධව මෙම විශේෂඥ වෛද්‍යවරිය ප්‍රමුඛ තිදෙනා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික රෝහලේ වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලයේ පුද්ගලයින් කීප දෙනෙක් හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මඟින් එම අයිතම මිලදී ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය රෝගීන්ට උපදෙස් දී තිබිණි.
මෙහි දී EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණක් විය. එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වේ. එසේ තිබිය දී අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන පුද්ගලික ආයතනය මගින් රෝගීන්ට මෙම අයිතමය විකුණා ඇත්තේ රු 120,000/- සිට රු.250,000/- පමණ වන මිලකටය.
මේ ජාවාරම සිදු කිරීමෙන් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව උක්ත විශේෂඥ වෛද්‍යවරිය ප්‍රමුඛ තිදෙනා අත් අඩංගුවට ගෙන තිබිණි.








