අද රටේ ඇති වී තිබෙන තත්වය විකෘති කර බිම් මට්ටමේ කැළඹීමක් ඇති කිරීමෙන් පසු විපක්ෂයේ එක් දේශපාලන පක්ෂයකට එය පැටවීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් දියත් කර ඇති බව නිරීක්ෂණය වෙන්නේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් කළ යෝජනාවෙන් අනතුරුව පුරා විනාඩි පහළොවක කාලයක් තිස්සේ මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉතාම දැඩි ආවේගයන් කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
එම ප්‍රකාශයේ දී ඇමති ජොන්ස්ටන් කීවේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය බිඳ දමමින් අසූ අට අසූ නමය මෙන්ම හැත්තෑ එකේ කලාක් සේ රට ලේ විලක් කර ජීවිත විනාශයක් කිරීමට මේ අර්බුදය උපයෝගී කරගැනීම සඳහා අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන කණ්ඩායම උත්සාහ දරන බවය.
මේ උද්ඝෝෂණ පසුපස ඉන්නේ අනුර කුමාර දිසානායකලාගේ දේශපාලන පුද්ගලයන් මිස පොදු ජනතාව නොවන බවත් ඔහු පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක ගමන් කරමින් සිටිය දී අනුර කුමාර දිසානායක ඉන් පිට පනින බවත් ඒවාට පිළිතුරු තමන් ලඟ තිබෙන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේය.
එම ප්‍රකාශය පදනම් කරගනිමින් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේ කීවේය.
“අද අපෙ රටේ තත්ත්වය ගැන පැහැදිලි වනවිට මෙතන වාදයක අහගෙන ඉන්නකොට මට පෙනෙනවා පොඩි වැඩපිළිවෙළක් යනවා කියලා විපක්ෂයේ තියන එක පක්ෂයක් කොන් කරලා ඔවුන් පිට වරද පටවන්න. අප හොදටම දන්නවා දැන් විපක්ෂයෙන් අරන් යන්නෙ සාමකාමී අරගල. මේ අවස්ථාවේ දී බිම් මට්ටමේ යම් ගැටුමක් ඇති කරලා ඒක එක පක්ෂයක කරපිට ගහන්න යනවා වගේ තමයි අපට මෙතන හැඟෙන්නෙ.“
“බිම් මට්ටමේ ප්‍රශ්නයක් ඇති කරලා එය විපක්ෂයේ කරපිට ගහන්න සැලසුම් කරන එක නොවෙයි ආණ්ඩුව කරන්න ඕන, ආන්ඩුවට තියෙන්නෙ බිම් මට්ටම බැහැලා ප්‍රශ්නය තේරුම් අරගෙන ප්‍රශ්නයට විසඳුම් දෙන්න. “







