ලලිත් චාමින්ද –
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අවිධිමත් පරිදි කටයුතු කළ පාර්ශව වෙත පියවර ගැනීමටත් ව්‍යාපෘතිය විධිමත් කිරීමටත් පියවරගත යුතුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
අම්බුළුවාව ජෛව විවිධත්ව භාරකාර මණ්ඩල රැස්විමේ දී රුපියල් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් අනුව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරිමටත් එය ඉදිකර පවත්වාගෙන යාමට වෙනමම සමාගමකට බදු දීමටත් තින්දුකොට තිබුණි.
ඇස්තමේන්තුගත මුදලින් සියයට 16ක් අම්බුළුවාව ජෛව විවිධත්ව භාරකාර භාරය විසින් දැරීමටත් තින්දුකොට තිබුණි. එහෙත් ප්‍රසම්පාදන කැඳවීමකින් තොරව භාරකාරමණ්ඩල රැස්වීම පවත්වා දින 06කට පමණ පසු එනම් 2023 වර්ෂයේ ජුනි මස 16 වැනිදින ලියාපදිංචි කළ සමාගමක් සමග ව්‍යාපෘතිය ඉටුකිරීමට ගිවිසුම්ගතවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකී ව්‍යාපෘතිය සඳහා 2024 වර්ෂය තුළදි වවුචර්පත් 19 මගින් රුපියල් නව කෝටි තිස් එක්ලක්ෂ, පනස් එක්දහස් දෙසිය දාහතක මුදලක් (93,151,217) වැයකර තිබුණි. එය කුමන කාර්යයකටද යන්න සනාථකරගැනිමට ගෙවිම් වවුචරය සමග උපලේඛන විගණනයට ඉදිරිපත්කොට නොතිබුණි.
කේබල් කාර් ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා විසිපන් කෝටි තුන්ලක්ෂ හැටදහසක (250,360,000) ඇස්තමේන්තුවක් පිළියෙළකොට තිබුණි. මින් සියයට 37ක මුදලක් මේවනවිට භාරකාර භාරය විසින් දරා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම එකසිය විසි කෝටි දස ලක්ෂ, අසු පන්දහස් හාරසිය විසි නවයක්. (1,201,085,429) බව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.
ගිවිසුමට අනුව ආයෝජනය කර ඇති කොටස සියයට 14ක් බවත් 2024 වර්ෂයට අදාළ මුදල පමණක් දැනට ආයෝජනය කොට ඇති බවත් කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ භාර අරමුදල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත්කොට ඇත.







