ජනාධිපති ධූරයට හා අග්‍රාමාත්‍ය ධූරයට අනාගත බල ව්‍යාපෘතියක් නොමැති දෙදෙනෙක් ඉදිරිපත් වෙනවා නම් තමන්ගේ අපේක්ෂකත්වය ඉවත් කරගෙන නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට වගකීම් දැරීම සඳහා සම්බන්ධ වීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජාතික ජන බලවේගය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අනාගත බල ව්‍යාපෘති රහිත අවංක දේශපාලකයින් මෙම පාර්ලිමේන්තුව තුළ සිටින බවත් ඔවුන් මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කර තිබුණ බවත් ඔහු පැවසීය.
අනාගත බල ව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස පත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමෙන් අනතුරුව පවතින ආර්ථික ගැටලුවලට කඩිනම් පිළිතුරු ලබා දී ඉක්මන් මැතිවරණයක් සඳහා යෑමට තමන් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ පිළිගත් නමුත් එය ක්‍රියාත්මක කරගැනීමට බැරිවුනු බව ඔහු පැවසීය.
එහෙත් එම යෝජනාව බදාදා වනතුරුත් විවෘත සහ වලංගු එකක් බව කී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එය ඉටු නොවන්නේ නම් තමන් අනිවාර්යයෙන්ම ජනාධිපති ධුරයට තරග වදින බව කීවේය.







