මනම්පිටිය නිමල් ජයරත්න –
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අඳ කුඹුරු ලෙස තමන් මෙවර යල කන්නයේ වගා කරන ලද අක්කර දෙකහමාරක වී වගාවෙන් වී කිලෝ දාහක් බලකා මූලස්ථානයට ලබාදෙන ලෙසට ගිවිසුම්ගත වුවද මේ වෙනවිට එක් සිවිල් ආරක්ෂක නිලධාරීයෙකුගෙන් වී කිලෝ 1050 ක් එකතු කිරීමේ ජාවාරමක් පොලොන්නරුව බලකා මුලස්ථානය විසින් සිදුකරන බව, අසාධාරණයට පත් සිවිල් ආරක්ෂකයෝ සඳහන් කරති.
මෙවර යල කන්නයේ පොලොන්නරුව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂකයින් 220 කට වැඩි පිරිසක් තම කුඹුරු වගා කරගැනීමට වැටුප් ලබමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගෙන් කන්නයකට වී කිලෝ 1000 ක ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බවට ගිවිසුම් ගතව ඇත.
මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායට අයත් කුඹුරු කීපයක් සිවිල් ආරක්ෂකයින් 50 දෙනෙකු පමණ වගා කරන අතර ඉන් එක් අයෙකු වී කිලෝ 1250ක් ලබාදිය යුතු වුවද ඔවුන්ගෙන්ද වී කිලෝ 1300 ක ප්‍රමාණයක් එකතු කරන බව සිවිල් ආරක්ෂකයෝ චෝදනා කරති.
ඒ අනුව ආසන්න වශයෙන් සිවිල් ආරක්ෂකයින් 270කින් පමණ වී කිලෝ 50 බැගින් එකතු කරගැනීමෙන් කන්නයකට අමතරව තමන්ගෙන් වී කිලෝ 13,500 ක ප්‍රමාණයක් වැඩි වශයෙන් එක්තු කරන බවත්, ඒ අනුව වී කිලෝවක් ,රුපියල් සියය බැගින් අලෙවි කළහොත් බලකා මූලස්ථානයට කන්නයකට එකතු වන 13,50,000 ට මුදල රජයට නොලැබෙන බවද සිවිල් ආරක්ෂකයින් පෙන්වා දෙති.
එක් සිවිල් ආරක්ෂක නිලධාරීයෙකුගෙන් අමතරව ගන්නා වී කිලෝ 50 ට කුමක් සිදුවේද යන්න පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, තමන්ගෙන් වී කිලෝ දාහක් පමණක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද පොලොන්නරුව සිවිල් ආරක්ෂක නිලධාරීන් රජයෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිති.
අප මේ පිළිබඳව පොලොන්නරුව සිවිල් ආරක්ෂක බලකා අණදෙන නිලධාරි කර්නල් ජයපති පොන්වීරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වී කිලෝ 1050 ක ප්‍රමාණයක් එකතු කරන්නේ වියළි බර ලෙසත්, එළඹෙන කන්නයේ සිට සිවිල් ආරක්ෂකයෙකුගෙන් වී කිලෝ 850 ක් පමණක් එකතු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත්ය.
,
තවද වැටුප් ලබමින් මාස පහකට අධික කාලයක් සිවිල් ආරක්ෂකයෙකු තම කුඹුරු වගා කිරීමට නිදහස් කර ඇති බවත්, ඒ වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් වැටුප් ලබාදුන්නද සිවිල් ආරක්ෂකයෙකුගෙන් රජයට වී කිලෝ දාහකින් ලැබෙන්නේ රුපියල් එක් ලක්ෂ විසිදහසකදාහක් පමණ මුදලක් බවත් ඔහු පවසයි,







