මුල්ලේරියාවේ තෝමස් චොන්ගම පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මව ඝාතනය කර ඇයගේ හිස හා අත් පා ශරීරයෙන් වෙන් කොට මළසිරුර වගුරු බිමක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා තවදුරටත් පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කීරීම සඳහා මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා විසින් ඊයේ (03 වැනිදා) සපුගස්කන්ද පොලිසියට අවසර ලබා දුන්නාය.
පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙසේ අවසර ලබා දී ඇත.
එසේ රඳවා තබා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ පෙරේදා (02දා) නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට භාරවූ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියඹලාපේ දකුණ, මාහේන පාර පදිංචි ව්‍යාපාරිකයකු වන බී.ජී.සුදීර (53) හා ඔහුගේ සගයා වන සියඹලාපේ දකුණ, සමෘද්ධි මාවතේ පදිංචි කපුවකු බව කියන ජී.ආර්. රෝහිත කුමාර (48) යන දෙදෙනාය.
සපුගස්කන්ද පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.පී. කුලරත්න හා නඩු මෙහෙයුම් අංශයේ සැරයන් චමින්ද (478) යන නිලධාරීන් විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙරේදා (02දා) පස්වරුවේ පැමිණ කාන්තාව ඝාතනය කළ බව කියන සියඹලාපේ දකුණ නිවෙස හා මෝටර් රථය පරික්ෂා කළහ.
කාන්තාවගේ හිස හා අත්පා ගලහිටියාව පාලම අසලින් ඇළට දැමූ බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන නිසා එම කොටස් සෙවීමට පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ද පොලිසිය කීය.
27 වැනිදා කඩුවෙල සිට ඝාතනය වූ ස්ථානයට
ඉකුත් 27 වැනිදා උදෑසන සිය නිවෙසින් පිට වූ මේ කාන්තාව එදින දහවල් සියඹලාපේ දකුණ පිහිටි ප්‍රධාන සැකකරුට අයත් දෙමහල් නිවෙසට පැමිණි බවට තොරතුරු ලැබී ඇත.
එදින දහවල් 11.00 ත් 12.00 ත් අතර කාලයේ එම නිවෙස තුළම ඇය ඝාතනය කොට හිස හා අත් පා ශරීරයෙන් වෙන් කර ඒවා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පසුදින (28 වැනිදා) අලුයම ගලහිටියාව පාරේ තිබෙන පාලම අසලට රැගෙනවිත් එහි ඇළට දැමූ බව සැකකරුවෝ පවසති.
ඝාතනය සම්බන්ධ සැකකරුවන්ගේ ප්‍රකාශ
මේ ඝාතනය තමා විසින් සිදු කළ බව පවසන දෙවන සැකකාර කපුවා පසුව දෙදෙනාම එක්වී මළසිරුර උරයක දමා රැගෙන ගොස් ඇළට දමා නුවරඑළියට ගිය බවට ද පවසා තිබේ.
දෙවන සැකකාර කපුවා පවසන්නේ දෙදෙනාම ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පැමිණ පළමුව කාන්තාව නිවෙස තුළට එනවිට තමා කාන්තාව ඝාතනය කළ බවය.
කඩුවෙල සිට කාන්තාව තම මෝටර් රථයෙන් පැමිණ පසුව ඉන් බැස ත්‍රිරෝද රථයකට නැග පැමිණි බවත් පසුව තමා නිවෙසට පැමිණෙන විට තමාට පෙර නිවෙසට ආ කාන්තාව කපුවා විසින් ඝාතනය කර තිබූ බවත් ප්‍රධාන සැකකරු පවසයි.
මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ මෝටර් රථය ද නුවරඑළිය ප්‍රදේශයේ තිබි මහබාගේ පොලිසිය විසින් සොයා ගෙන එම මෝටර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානයට පෙරේදා පස්වරුවේ භාර දී තිබේ.
මේ කාන්තාව ඉකුත් 27 වැනිදා අංගොඩ සිය නිවෙසින් පිටත්ව යෑමෙන් පසුව අතුරුදන්ව තිබිණි.
ඊට පසුදින (28 වැනිදා) පස්වරුවේ සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පිහිටි කොට්ටුන්න වැවේ තිබී හිස හා අත්පා නැතිව මළසිරුර හමුවූ අතර පසුව ඇයගේ ඥාතීන් විසින් එම මළසිරුර හඳුනා ගන්නා ලදි.
මේ වනවිට මළ සිරුර රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර මෙතෙක් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන දිනයක් තීරණය කර නැත.
සාක්ෂි පරස්පරයි
කෙසේ වෙතත් ඊයේ කළ ප්‍රශ්න කිරීම්ව ලදී සැක කරුවන් දෙදෙනා විසින් ලබා දෙන සාක්ෂිවල පරස්පරතාවයක් නිරීක්ෂණයවන බව විමර්ශකයෝ කියති.
දැනට කරන ලද ප්‍රශ්න කිරීම්වලින් සැකකාර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන්ට මරණකාරියගෙන් කරදර ඇතැයි ඔහුගේ හිතවත් කපුවාට පවසා ඇති බවය. පුරා වසර විස්සක් තිස්සේ මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වාගෙන ගිය කාන්තාව ව්‍යාපරිකයාගෙන් මිල මුදල් ඉල්ලා කරදර කරන බවත් ඇයට ඔහු විසින් ඉඩම් ගේ දොර නිවාස සහ මිල මුදල් ද ලබා දි තිබෙන බව හෙළි වී තිබේ.
කපුවාගේ කීම මත ව්‍යාපාරිකයා විසින් සිය අනියම් පෙම්වතිය වූ මෙම කාන්තාව කඩුවෙල ආපන ශාලාවේ සිට ඇය ඝාතනය කළ සියඹලාපේ දකුණ මාහේන ප්‍රදේශයේ පාලු පාළු නිවස වෙත රැගෙන විත් තිබේ.
විමර්ශන අංශ පවසන්නේ කපුවා විසින් කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධ කරන ප්‍රකාශයන්හි සැක සහිත තැන් ඇති බවය.
ඔවුන් දෙදෙනා හිතා මතා කලින් සැලසුම් කළ ආකාරයට මෙම ප්‍රකාශ පොලිිසිය ඉදිරියේ සිදුකරන බවට සැකයක් ඇති බවස පොලිසිය කියයි.
විමර්ශන අංශ පවසන්නේ මේ තත්ත්වය තුළ කාන්තාව ඝාතනය සම්බන්ධ සත්‍ය තොරතුරු තවමත් හෙළි නොවන බවය.
සැකකරුවන් දෙදෙනා වෙන් කර ප්‍රශ්න කිරීමේ දී පල කරන අදහස් තවමත් විශ්වාස කළ නොහැකි බව ද විමර්ශන අංශ කියයි.
සැකකාර කපුවා පොලිසියට දුන් ලිිපිනය සහ විස්තර ද ව්‍යාජ ඒවා බව හඳුනාගෙන තිබේ.
සපුගස්කන්ද පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.