සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නන්වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීමට ඊයේ (05) සවස රැස් වූ විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත.
ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂවන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් ද මේ රැස්වීමට එක් විය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා සියලු පක්ෂවලින් සමන්විත කමිටුවක් පත් කරගෙන ඇති අතර එහි කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල පත් කරගෙන ඇත.
වත්මන් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කර ඒ වෙනුවට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නිශ්චිත කාලයක දී මහා මැතිවරණයකට යෑමට මෙම වැඩපිළිවෙළේ තවත් එක් අරමුණක් බව සාකච්ඡාවට සහභාගි වූ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසුවේය.
මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස ජාතික ජන බලවේගයට ආරාධනා කළ ද ඔවුන් ඒ සඳහා සහභාගී නොවීම ගැන කණගාටු වන බවත් ඔවුන් නොමැතිව වුවද වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් එම නායකයා වැඩිදුරටත් කීවේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා වෙත ලබා දෙන බවත්, මේ ආණ්ඩුව යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු වැදගත් කරුණු රාශියක් පිළිබඳව කටයුතු කිරීමට මේ වනවිටත් සැලසුම් කරමින් සිටින බවත් එම පක්ෂ නායකයා වැඩි දුරටත් කීවේය.







