බීබීසී – සිංහල –
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉන්දිය සංචාරය මෑත වකවානුවේ මහත් අවධානයට ලක් වූ රාජ්‍ය තාන්ත්‍රික ගමනක් වුයේය. මෙම ගමනේ දී ආග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූවා ය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවාය.
මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයෝ එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ.
අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වූවා ය.
එමෙන් ම අගමැතිවරිය නව දිල්ලියේ පැවති ඉන්දීය කර්මාන්ත සමුළුවේ (CII) සහ ඉන්දීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත මණ්ඩලයේ (FICCI) නියෝජිතයින් හමුවූවා ය. බලශක්තිය, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘත්‍රිම බුද්ධිය, නවෝත්පාදන, සුවතා සංචාරක ව්‍යාපාරය සහ වරාය සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
මෝදි – හරිනි හමුව

අගමැතිවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ සාකච්ඡාවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.
අග්‍රාමාත්‍ය මෝදි විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස ගන්නා ලද අතර ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මෙම සංචාරය උපකාරී වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
1990 දශකයේ මුල් භාගයේදී ICCR ශිෂ්‍යත්වයක් ලබා තමන් දිල්ලි විශ්වවිද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුළත් වුණු ආකාරය සහ එය තම ජීවිතයට උපකාරී වූ ආකාරය ඇතුළු ඉන්දියාවේදී ලද සිය අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය අගමැති මෝදි සමග බෙදා ගත්තා ය.
මෙම ඉන්දිය සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලක සිදු කළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බව ද අගමැතිවරිය මෙහිදී සඳහන් කළා ය.
ශ්‍රී ලංකාවේ සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අගමැති මෝදි සහය පළ කළ අතර, විශේෂයෙන් පාසල් හැර යන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග සහ සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, සියලු දෙනා ඇතුළත් කර ගත් සහ සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සහය පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
දෙරටේ ධීවරයින්ගේ සුභසාධනයට අදාළ කරුණු සහ දෙපාර්ශවයේ ම ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළා ය.
දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ ය.
අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
විශේෂයෙන් එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උණුසුම් සුබ පැතුම් අගමැති මෝදි වෙත ප්‍රකාශ කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග හමුව
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවිය.
එහිදී ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය, සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලාපයේ සමීප අසල්වැසියෙකු සහ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව පැවසු බව අගමැති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ ඩිජිටල්කරණය, තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය සහ පර්යේෂණ සේවා ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවද ප්‍රකාශ කළා ය.
දිල්ලි හින්දු විද්‍යාලයෙන් ලැබුණු පිළිගැනීම
මේ අතර, දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ පිහිටි හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් දේශනයක් ද පැවැත්වීය.
එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ “හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය” ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කරන ලදී.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය තමන් ආධ්‍යාපනය හැදැරූ පන්ති කාමර නැරඹීමට එක්වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන් ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාව සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදා ගත්තා ය.
සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ‘අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමගින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ සඳහන් කරමින් කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම පිළිබඳව අවධාරණය කළා ය.
අගමැතිවරියගේ සංචාරය අද ( ඔක්තොම්බර් 18 වන දා) අවසන් වීමට නියමිත ය.







