කපිල කේ හීනටියන –
මෑත ඉතිහාසයේ එල්ල වූ භයානකම සහ අතිශය තීරණාත්මක සටන්කාමී මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරමින්, ඉරාන දේශ සීමාව තුළ සිරවී සිටි අමෙරිකානු ගුවන් හමුදාවේ F-15E ස්ට්‍රයික් ඊගල් (F-15E Strike Eagle) යානයේ දෙවන නිලධාරියා බේරා ගැනීමට අමෙරිකානු විශේෂ බලකාය සමත් වූයේය.
2026 අප්‍රේල් 3 වන දින නිරිතදිග ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම ප්‍රහාරක යානය බිම හෙළන ලද අතර, එතැන් සිට පැය 48ක් පුරා ඇදී ගිය දැවැන්ත යුදමය මෙහෙයුමක අවසානය සනිටුහන් කරමින් මෙම මුදාගැනීම සිදු විය.
මෙලෙස මුදාගනු ලැබුවේ අමෙරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන අවි පද්ධති නිලධාරියා ය (WSO). ඉරානයේ කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් (Kohgiluyeh and Boyer-Ahmad) පළාත්වල පවතින අතිශය දුෂ්කර සහ කඳුකර භූමිය තුළ දිනකට වැඩි කාලයක් ඔහු සැඟවී සිටියේය. ඒ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන අයෙකුට විශාල මුදල් ත්‍යාග පිරිනමන බවට ඉරාන බලධාරීන් නිවේදනය කළ පසුබිමකය.
එමෙන්ම ඉරානය හමුදාව ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා සහ විශේෂ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම ගුවන් නියමුවා සම්බන්ධව අඛණ්ඩ විශේෂ සෙවීමක් කළේය. විශේෂ හමුදා ඒකක එම භූමිය වෙත එවීමට ද ඉරානය කටයුතු කරමින් සිටි පසුබිමක සතුරු සේනා මගහරිමින් අතශය ශූර ලෙස ආරක්ෂිතව සිටීමට ගුවන් නියමුවා සමත් වී තිබිණි.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙය අමෙරිකානු ඉතිහාසයේ සිදුකළ “වඩාත්ම නිර්භීත” මෙහෙයුම්වලින් එකක් බවය. දරුණු බිම් මට්ටමේ සටන් සහ දේපළ හානි මධ්‍යයේ වුවද, මෙහෙයුමට සහභාගී වූ සියලුම අමෙරිකානු භට පිරිස් ආරක්ෂිතව යළි පැමිණ ඇති බව ඔහු තහවුරු කළේය.
නියමුවා මරණය පෙනි පෙනී සතුරු දේශයේ රැය ගෙවූ අයුරු
යානය අප්‍රේල් 03 වැනිදා අනතුරට ලක් වන්නේ නිරිතදිග ඉරානයේ කොහ්ගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ අතිශය දුෂ්කර කඳුකර ප්‍රදේශයකය. මෙය ඉස්ෆාන් (Isfahan) පළාත් සීමාවට ආසන්නව පිහිටි, ජනාවාස අවම, බෑවුම් සහිත කඳු සහ ගල් කුහරවලින් ගහණ ප්‍රදේශයකි. ස්වභාවිකවම සැඟවී සිටීමට සුදුසු වුවද එහි ගමනාගමනය අතිශය දුෂ්කරය.

යානය ප්‍රහාරයට ලක්වූ මොහොතේම එහි සිටි නිලධාරීන් දෙදෙනා ආරක්ෂිතව පැරෂුට් මගින් යානයෙන් පිටතට විදිනු ලැබුවේය. නියමුවා මෙන්ම අවි පද්ධති නිලධාරියා ද ආරක්ෂිතව පැරෂුටයෙන් බිමට බැස්සේය. දෙදෙනා ගොඩබිමට පතිත වන්නේ එකිනෙකාට සැලකිය යුතු තරම් ඈතින් සහ සොයා ගත නොහැකි තරමේ දුරකිනි. යානය බිම හෙළූ විගස එහි නියමුවා HH-60W ජොලි ග්‍රීන් II (HH-60W Jolly Green II) හෙලිකොප්ටර් යානා මගින් බේරා ගත්තේය. නමුත් තුවාල ද සහිතව ඈතට විසිවී ගිය අවි පද්ධති නිලධාරියා අතුරුදහන්ව සිටියේය. ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකි.
අමෙරිකානු ගුවන් හමුදා නිලධාරීන්ට නිශ්චිත වගකීම් පැවරෙන්නේ අතිශය දුෂ්කර පුහුණු පාඨමාලාවක ප්‍රතිඵල මතය. ගුවන් නිලධාරියෙක් ‘සෙරේ’ (SERE – Survival, Evasion, Resistance, and Escape) නැමැති එම විශේෂ පුහුණුව ලැබූ පසු යුධ බිමේ ඕනෑම අභියෝගකයට මුහුණ දීමට සමත් වන්නේය.
මෙම කර්නල්වරයා ඉදිරියේ ඇති අභියෝගය දැන් තීරණාත්මකය. හැඟීම්වලට යට නොවී බුද්ධිමත්ව ඉක්මන් තීන්දු ගත යුතුය. ඔහු ස්වකීය පුහුණුවෙන් ලද ශිල්පීය දැනුම සහ උපක්‍රම ක්‍රම ප්‍රායෝගික කිරීම අරඹුවේය. පළමු අභියෝගය සතුරන් මගහැරිමය. යානයේ සුන්බුන් අවට සිටීම අනතුරුදායක බැවින් ඔහු වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වී තිබිණි. ඔහු සතුව තිබුණේ පිස්තෝලයක්, ජීවිතාරක්ෂක කට්ටලයක් (Survival Kit), සංකේතනය කළ සන්නිවේදන උපකරණයක් සහ හදිසි සංඥා නිකුත් කරන උපකරණයක් (Emergency Beacon) පමණි.
යානයෙන් පිටතට විදීමේදී ඔහු සිටියේ තුවාල සහිතවය. එහෙත් හේ සතුරන්ගෙන් සැඟවීමට විශේෂ ස්ථානයක් සොයා ගැනීමට හැකි උපරිම ජවය සහිතව ක්‍රියාත්මක වුනේය. අවසානයේ හෙතෙම නවතින්නේ සතුරන්ට පහසුවෙන් ළඟා විය නොහැකි උස් කඳු මුදුනක පිහිටි ගල් පරයක කුහරයක් තුළය. මේ අසාමාන්‍ය සොල්දාදුවා තුවාල සහිතව සිටිය ද අඩි 7,000ක් පමණ උසැති අතිශය දුෂ්කර කඳු වැටියක් තරණය කරමින් ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන තිබිණි.
අනතුරුව තම ස්ථානය නිවැරදිව හඳුනාගැනීම සඳහා ඔහු හදිසි ස්ථානගත කිරීමේ සංඥා ක්‍රියාත්මක කළේය. ආරක්ෂිත සන්නිවේදන ජාල ඔස්සේ අමෙරිකානු පාලන මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වෙමින් සජීවී තොරතුරු ලබා දුන්නේය. ඒ අතර අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඔහු දිගින් දිගටම තමන් රැඳී සිටි ස්ථාන මාරු කරමින් සිටියේය.

CIA. බුද්ධි මෙහෙයුම
සැඟවී සිටින කර්නල්වරයා සිටිනා නිශ්චිත ස්ථානය දැනගෙන සිටිය ද ඔහුව බේරා ගැනීම කිසිසේත්ම පහසු එකක් වූයේ නැත. මේ අතරතුර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ සන්නද්ධ ගෝත්‍රිකයන් ඔහු සොයා මාරාන්තික මෙහෙයුමක් ඇරඹූහ. ඔහු ගැන තොරතුරක් දෙන අයෙකුට ඩොලර් 60,000ක ත්‍යාගයක් ද ඉරාන බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කළේය.
ඉරාන සෝදිසි කණ්ඩායම් සහ සන්නද්ධ රථ පෙළ, කර්නල්වරයා සැඟවී සිටි ස්ථානයට “පැයෙන් පැය” සමීප වෙමින් තිබිණි. මේ තත්ත්වය අමෙරිකානු බුද්ධි අංශ නිරන්තව නිරීක්ෂණය කළේය. ඉරාන හමුදා ඔහු සිටි තැනට කෙතරම් ආසන්න වූවාද යත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් සිටියේ සැඟවී සිටි කර්නල්වරයාට කිලෝමීටර් 3කටත් වඩා අඩු දුරකිනි.
මෙහිදී MQ-9 රීපර් ඩ්‍රෝන යානා මගින් කර්නල්වරයා සිටි තැනට කිලෝමීටර් 3ක් ඇතුළතට පැමිණි ඕනෑම සතුරු ඉලක්කයකට නිරවද්‍ය ප්‍රහාර එල්ල කර ඔවුන්ව විනාශ කිරීමට ඇමරිකානු ප්‍රහාරක අංශ කටයුතු කළේය. එමෙන්ම ඉරාන හමුදා රථ පෙළ ඔහු දෙසට ඒම වැළැක්වීම සඳහා අමෙරිකානු ප්‍රහාරක යානා මගින් මංමාවත්වලට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් මාර්ගයේ දැවැන්ත බාධක ඇති කරනු ලැබුවේය.
මෙම සියල්ල අතර CIA සංවිධානය විසින් සිදුකළ ‘රැවටීමේ මෙහෙයුම’ (Deception Operation) තීරණාත්මක විය. අදාළ නිලධාරියා දැනටමත් සොයාගෙන ඇති බවත්, ඔහු ගොඩබිම් මාර්ගයෙන් ඉවත් කරමින් සිටින බවත් CIA සංවිධානය වැරදි තොරතුරු පතුරුවා හරිනු ලැබුවේය.
මේ තොරතුරුත් සමග ඉරාන හමුදාවන්ගේ අවධානය වෙනතකට යොමු වූයේය. ඉන් නිශ්චිත මෙහෙයුම සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට හැකි වූයේය.
ගලවා ගැනීමේ මෙහෙයුම
නිශ්චිතව සැඟවී සිටින තැන දන්නා නමුත් මේ මොහොතේ දී කර්නල්වරයා මුදාගැනීම අතිශය සංකීර්ණ විය. ඒ සඳහා CIA බුද්ධි තොරතුරු, MQ-9 රීපර් (MQ-9 Reaper) ඩ්‍රෝන යානා සහ අඳුරේ ක්‍රියාත්මක විය හැකි දැවැන්ත ගුවන් යානා බලඇණියක් යෙදවිනි. විශේෂයෙන්ම, “නයිට් ස්ටෝකර්ස්” (Night Stalkers) ලෙස ලෝකප්‍රකට 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් රෙජිමේන්තුව, මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
සතුරු බලපෑම් මධ්‍යයේ, රාත්‍රී කාලයේ ඉතා පහළ මට්ටමකින් ගුවන් යානා හැසිරවීමේ දක්ෂතාවක් ඇති ඔවුහු, MH-6 ලිට්ල් බර්ඩ්ස් (MH-6 Little Birds) සහ තවත් නවීකරණය කරන ලද හෙලිකොප්ටර් යොදා ගනිමින්, කර්නල්වරයා සැඟවී සිටි ස්ථානයට ගොඩබිම් කණ්ඩායම් ඇතුළු කළහ.
අතිශය බිහිසුණු මුදාගැනීමේ මෙහෙයුමේ කොඳු නාරටිය වූයේ අමෙරිකානු විශේෂ බලකායන් ය (U.S. Special Operations Forces). අමෙරිකානු විශේෂ මෙහෙයුම් විධානයට (USSOCOM) අයත් ප්‍රභූ ඒකක කිහිපයක් ගලවා ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාත්මකව සිටියේය. 24 වන විශේෂ මෙහෙයුම් බලකායේ පැරාරෙස්කියු ජම්පර්ස් (PJs) කණ්ඩායම, සතුරු ප්‍රහාර මධ්‍යයේම අදාළ නිලධාරියාට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔහුව බේරා ගැනීමට භූමියට බටහ.
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඇමරිකානු යුද හමුදාවේ “ග්‍රීන් බෙරේට්ස් ” (Green Berets) සහ නාවික හමුදාවේ “සීල්” (Navy SEALs) කණ්ඩායම්වල සාමාජිකයන් ද සම්බන්ධ වී සිටියහ. කර්නල්වරයා රැඳි සිටි ප්‍රදේශයේ ආරක්ෂිත වළල්ලක් නිර්මාණය කරමින්, හඹා ආ ඉරාන හමුදා සමඟ සෘජු ගැටුම්වල නිරත වූහ.
MC-130J යානා විනාශ කිරීමේ තීරණාත්මක අදියර
නිලධාරියා මුදාගැනීමෙන් පසු මෙහෙයුමේ වඩාත්ම අවදානම් සහගත අදියර ආරම්භ වන්නේ ඉන් පසුවය. මුදාගැනීමේ අවසන් අදියර සඳහා අමෙරිකානු විශේෂ බලකාය විසින් ඉරාන මහාභූමිය තුළම තාවකාලික ගුවන් පථයක් (FARP – Forward Arming and Refueling Point) ස්ථාපිත කර කර තිබිණි. මෙම ගුවන්පථය සකසා තිබුණේ ඉරාන දේශ සීමාවෙන් කිලෝමීටර් 50-60ක් පමණ ඇතුළත, පාළු කාන්තාර ප්‍රදේශයක හෝ අතහැර දමන ලද ඉරාන හමුදා කඳවුරක් ආශ්‍රිතවය. එය තාවකාලිකව සකසා ගත් සමතලා භූමියකි.
ගලවා ගත් කර්නල්වරයා විශේෂ හෙළිකොප්ටර් යානා මගින් තාවකාලික ගුවන් පථය වෙත රැගෙන ආවේය. ගොඩබිම මෙහෙයුම්වල නිරත විශේෂ බලකායේ සෙබලුන් ද සහිතව යානා ගුවන්ගතවීමට සැලසුම් වී තිබිණි.
ගොඩබිම් මෙහෙයුම අවසානයේ අදාළ නිලධාරියා සහ විශේෂ බලකා භට පිරිස් රැගෙන යාමට පැමිණි MC-130J කොමාන්ඩෝ II යානා දෙක පැමිණියේය. අතිශය රහසිගත සහ පහළ මට්ටමකින් පියාසර කළ හැකි මෙම යානා, සතුරු දේශසීමා තුළ ඇති රළු භූමිවල ගොඩබැස්වීමටම විශේෂයෙන් සැලසුම් කර තිබිණි. නමුත් ඉරාන කාන්තාරයේ පැවති අධික මෘදු වැලි සහ දූවිලි සහිත ස්වභාවය හමුවේ යානා දෙකේ රෝද පද්ධති (Landing Gear) සහ එන්ජින් අක්‍රිය විය.
ඉරාන හමුදාවන් පැයෙන් පැය මෙහෙයුම සිදුවන ස්ථානයට සමීප වෙමින් තිබිණි. සිරවී ඇති යානා යළි ගොඩබිමෙන් නිදහස් කර ගැනීමට උත්සාහ කිරීම මාරාන්තික අවදානමක් බව වටහාගත් අමෙරිකානු අණදෙන නිලධාරීහු එම යානා දෙකම එතැනම පුපුරුවා හැරීමට ක්ෂණික නියෝග නිකුත් කළහ.

මෙම යානා දෙක මෙලෙස විනාශ කිරීමට ප්‍රධානතම හේතුව වූයේ, එහි අඩංගු අතිනවීන ‘ටෙරේන් ෆලෝවිං’ (Terrain-following) රේඩාර් පද්ධති සහ රහසිගත සන්නිවේදන තාක්ෂණය ඉරාන බුද්ධි අංශ අතට පත්වීම වැළැක්වීමය. විනාශ කළ එක් යානයක් ඩොලර් මිලියන 114කට වඩා වටිනාකමකින් යුක්ත වූයේය. එහෙත් යානයේ ඇති යුද රහස් සතුරා සතු වීම ඊට වඩා මාරාන්තික විය හැකි බව අමෙරිකාව ගණන් බලා තිබුණි. ඒ අනුව, භට පිරිස් රැගෙන යාමට අතිරේක යානා තුනක් කැඳවා, සිරවූ යානා පුපුරුවා හැරීමෙන් පසු එම ස්ථානයෙන් ඉවත් වීමට අමෙරිකානු බලකාය සමත් විය.
මුදාගත් කර්නල්වරයා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහු සම්පූර්ණ සුවය ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කිසිදු අමෙරිකානු ජීවිත හානියකින් තොරව, සතුරු ප්‍රහාර මධ්‍යයේ හෙලිකොප්ටර් සහ ගුවන් යානා ඒකාබද්ධ කරමින් සිදුකළ මෙම මෙහෙයුම අමෙරිකානු විශේෂ බලකායන් සතු විශිෂ්ඨත්වය පෙන්වූයේය. නූතන ගලවා ගැනීම් මෙහෙයුම්වල ආදර්ශයක් බඳු වූ මෙම වික්‍රමාන්විත මෙහෙයුම වෙනුවෙන් ඇමරිකාව MC-130J යානා දෙකක් කැප කළේය. .
අමෙරිකා-ඉරාන ගැටුමේ හයවන සතිය ගෙවී යද්දී, ලෝකයට ප්‍රකාශවන එක් සත්‍යයක් තිබේ. එනම් මේ යුද්ධයේ ජයග්‍රහණයන්ට පවා අධික මිලක් ගෙවීමට සිදුවන බවය.







