ශ්‍රියානි විජේසිංහ –
බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඊයේ එක්කරා පුද්ගලයෙකු පැමිණියේය. සුදුපාට කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමකින් සැරසී සිටි ඔහු පැළද සිටි හිස්වැසුම අතට ගෙන හිස පහත් කොට යටහත් පහත්ව බිඳුණු පණ අදින කටහඬ අවදි කළේය. 
“ඉස්පිරිතාලේ කොම්පියුටරයක් කැඩිලා කියලා ටී.වි එකේ ප්‍රවෘත්තිවලට කිව්වා. මම ඒ කැඩිච්ච කොම්පියුටරේ හදලා දෙන්න සල්ලි ටිකක් දිලා යන්නයි ආවේ“
ඔහුගේ කට හඬ වියැකී ගියත් එය හදිසි ප්‍රතිකාර ඒකකය පුරා සියුම් හඬින් ප්රතිරාව දුන්නේය. රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ ගේ හිස ක්ෂණයකින් එසවිනි.
“ මහත්මයා කොහේ ඉදලාද ආවේ.”
“තුන්නෑව, වරාලන්ද ,ගෝඩුන්නේ ඉදලා.“
වරාලන්ද ගෝඩුන්න බදුල්ලේ සිට කිලෝමීටර් 40ක් දුරින් පිහිටි ගමකි. ගොවිතැන් බතක් කර ගනිමින් ජීවිකා ගෙවු මොහු නමින් ඩි.එම්.අප්පුහාමිය. රෝහලට අවශ්‍ය එන්ජියෝ ග්රැම් යන්ත්‍රයක අවශ්‍යතාව වසර ගණනාවක සිට පැවතිනි. එය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීය. මේ හේතුවෙන් හදවත් රෝගීන්ට සිදුකළ යුතු එන්ජියෝග්‍රෑම් පරික්ෂණයන් සඳහා බදුල්ල රෝහලට පැමිණෙන රෝගීන් නුවර, කොළඹ , අනුරාධපුරය වැනි රෝහල්වෙත මාරුකර හැරීමට රෝහල් බලධාරීන්ට සිදුවන්නේය.
එන්ජියෝග්‍රෑම් පරික්ෂණ යන්ත්‍රයක් ජයිකා ආධාර යටතේ ලැබුණද එය ස්ථාපිත කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ල සාදා නොතිබුණ බැවින් එයද රෝහලට අහිමි විය.
වෛද්‍ය පාලිත ගොවි මහතා දෙස බැලා සිටියේ වචනයෙන් කිව නොහැකි හැඟීමකිනි.
“ ඔබ තුමාට බොහොම ස්තුතියි. අපි මේ යන්ත්‍රය මිලදී ගන්න ගිනුමක් විවෘත කරලා තියනවා. ඔබතුමාට පුලුවන් පරිත්‍යාගය ඒ ගිනුමට බැර කරන්න…”
ගොවි මහතාගේ මොහොතක් නිහඬව බලා උන්නේය.
“අනේ මහත්තයො. ඔය බැංකු වැඩ ගැන මට ඒ තරම් දැනුමක් නැ… ඒ නිසා තමයි ඔබතුමා හම්බවෙලා මේ සල්ලි ටික දීලා යන්න ආවේ…”
වෛද්‍ය පාලිතගේ දෙනෙත් බොඳ වී ගියේය. මේ රත්තරන් හදවතක් ඇති ගොවි මහතා රුපියල් විසි පන් දහසක් රැගෙන කිලෝ මීටර 40ක දුරක් ගෙවා බදුල්ල රෝහලට පැමිණ තිබේ. මේ උත්තුංග මනුෂ්‍යයා ඉදිරියේ තමන් මොනතරම් පොඩි දැයි වෛද්‍ය පාලිත කල්පනා කළේය.
“ මහත්තයා මේක ගන්න… මමත් හදවත් රෝගියෙක්.” අප්පුහාමි මහත්තයා වෛද්‍ය පාලිතට කීවේය. කරගැට පිරුණ දෑතින් දුන් රුපියල් විසි පන්දහසක මුදල වෛද්‍ය පාලිත ගත්තේ සැලෙන දෑතිනි. පිටවෙන්න කලින් ඒ උතුම් මිනිසා වැළඳගෙන වෛද්‍යවරයා ඡායාරූපයකට පෙනී සිටියේය. අප්පුහාමි මහත්මයාගේ තොරතුරු සියල්ල සටහන් කරගත්තේය. අප්පුහාමි මහත්මයා පිටව යනතුරු මුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයම බලාගේන උන්නේ තිගැස්මෙනි.
“ මේ රුපියල් විසි පන්දහස රුපියල් කෝටියක් වටිනවා… මේ දුප්පත් මනුස්සයගේ හැඟීමට මිලක් නෑ… අපේ වෛද්‍ය කණ්ඩායමටම මේ සිද්ධියත් එක්ක මිනිස්සුන්ගේ මනුස්සකමේ ගැඹුර ගැන විශාල ආලෝකයක් ලැබුණා. කවද හරි දවසක බදුල්ලට එන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රයක් ලැබුණට පස්සේ ඒ යන්ත්‍රය රෝහලට බාර දෙන්නෙ අප්පුහාමි මහත්තයා අතින්… එහි මුල්ම පරීක්ෂණය කරන්නෙත් එතුමගෙ…” වෛද්‍ය පාලිත රාජපක්ෂ අප සමග කීවේය.
අසරණ රෝගීන්ගේ බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණි සෞඛ්‍යය ලොක්කන් සිටින රටක අතේ කරගට එන රනතුරු පොළව කොටා අස්වද්දා උපයා ගත් සොච්චමින් මහා කොටසක් රෝහලටම ගෙනත් දුන් අප්පුහාමි වැනි රත්තරන් මිනිස්සුන් තැබිය යුතු තැන සම්බන්ධව තවමත් කල්පනා කරමි.
මේ ගර්හිත රට සම්බන්ධව තවමත් අපට බලාපොරොත්තු සපයන්නේ මේ වගේ උත්තුංග මනුෂ්‍යයන්ගේ ආකල්පවල බර බව යළිත් ලියා තබමි.