ජයකාන්ත ලියනගේ – බළපිටිය –
ධීවරයන්ට සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන් මංකොල්ල කන බවත්, ඉදිරියේ දී බස් රථවලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දී බස් ගාස්තු සියයට හැත්තෑවකින් පහළ දමන ලෙසත් බළපිටියේ ධීවරයෝ ඉල්ලා සිටිති.
නිසිලෙස භූමිතෙල් නොලැබීම නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් විශාල සංඛ්‍යාවක් අනාථ වී ඇති බවට වූ තොරතුරු බොහෝමයකි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි බළපිටිය බ්‍රාහ්මණවත්ත හරස්පළ ධීවර තොටුපොළේ ධීවරයින් හමුවූයෙමු.

ඔවුන් කියන්නේ තවත් ජඩ ජාවාරමක් ගැනය. ධීවරයින්ට ලැබෙන භූමිතෙල් ටික කොල්ලකාගෙන බස් දුවන බස්කාරයන්ගේ කතාව අප ඉන්නේ අහවල් රටකදැයි අපෙගෙන්ම ප්‍රශ්න කරගන්නට හිතෙන්නේය.
භූමිතෙල් ලීටරයක් සඳහා රජය දරන වියදම රුපියල් 362.26කි. එහි සිල්ලර මිල රුපියල් 87කි. ඒ අනුව රජය අදටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 87කට විකුණන්නේ රුපියල් 275.26ක පාඩුවක් දරමිනි. රජය මේ පාඩුව දරා ගන්නේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙනි. ධීවර කර්මාන්තයේ යෙදන පහළ මට්ටමේ ධීවර කාර්මිකයින් වෙනුවෙනි.
ඔවුන්ගේ භූමිතෙල්ටික කොල්ලකාගෙන රුපියල් 87ට ලීටරයක් ගන්නා බලපිටියේ බස් කාරයින් රුපියල් 400වන ඩීසල් ලීටරයක් වෙනුවට භූමිතෙල් ආදේශ කරගෙන සිටින්නේ බස් ගාස්තු සියයට 70ක් වැඩි වී ඇති පරිසරයකය.
මේ ජඩ අවනඩුව ධීවරයින් අපට කී අයුරින්ම සටහන් කර තබන්නේ මේ රටේ නමට හෝ ආණ්ඩුවක් ඇත්නම් උන්ට මේ වග පෙනෙනු ඇතැයි විශ්වාසයෙනි.
මුලින්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ටෙෂාන් විනෝල් (48) ය. ඔහු මෙසේ කීය.

දැනට අවුරුදු විසි පහක පමණ කාලයක සිට ධීවර රක්ෂාව කරන්නේ. පොහොය දින හැර අවුරුද්දේ අනෙක් සෑම දිනකම මේ තොටුපොළෙන් අපි රක්ෂාව කරනවා. බෝට්ටු පනහකට වැඩිය දිනපතා රක්ෂාවේ යනවා. මේ වගේ වාරකන් කලෙට අපි කරන්නේ උදේට ගිහින් දැල් මුහුදේ දමල ඇවිත් පසුවදා අලුයම ගිහින් දැල් අරගෙන එන්නේ.
ධීවර ජනතාව කාටවත් අතපාන්න කැමැති නැහැ. මේ රැකියාව කරගෙන යන්න විශාල බාධකය වී තිබෙන්නේ ඉන්ධන නැති වීමයි. බෝට්ටු ඇන්ජින් ස්ටාර්ට් කරන්න පෙට්‍රල් අවශ්‍යයි. මුහුදේ බෝට්ටු දුවන්නේ භූමිතෙල් වලින්. ඒත් මාසෙකට දවසක්වත් රස්සාව කරන්න භූමිතෙල් ලැබෙන්නේ නැහැ.
ෂෙඩ් එකකට සති හතරකට තුනකට වරක් ලැබෙන්නේ තෙල් ලීටර් 6600 යි. ධීවරයෝ වන අපට භූමිතෙල් නිකුත් කරන්න රජයෙන් සලාක ක්‍රමයක් හදල තිබෙනවා. නමුත් තෙල් ආපු ගමන් බස් හිමියෝ සහ රස්සාවේ යන්නේ නැති ධීවරයන් පෝලිමේ ඉදිරියට පැනල තෙල් අරගන්නවා. රස්සාවේ නොයන ධීවරයන්ගේ භූමිතෙල් බස් හිමියෝ වැඩි මිලට ගන්නවා. මුහුදු රක්ෂාව කරන සැබෑ ධීවරයන්ට තෙල් ලැබෙන්නේ නැහැ.
මේ හේතුවෙන් ධීවර රක්ෂාව කරගෙන යන්න බැරිවී තිබෙනවා. අද බඩු මිල අහස උසට නැගල. දුප්පත් අපට දරා ගන්න බැහැ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටිනවා.
බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ඉන්ද්‍රජිත් කුවින්දාහන්දි (57) මෙසේ කීය.

මම අවුරුදු 12 සිට මේ රක්ෂාව කරන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ මීට මාසයකට දෙකක සිටයි. බළපිටිය සහ අහුන්ගල්ල ෂෙඩ් දෙකේ බස් කාරයෝ ටැප් තියාගෙන ඉඳල එන භූමිතෙල් ටික සේරම ගන්නවා. ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් වෙන අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 87 යි වෙන්නේ. අපේ ඇතැම් ධීවරයෝ තෙල් සහනාධාරය අවභාවිතා කරනවා. ඔවුන් රුපියල් 87 ට ගන්න භූමිතෙල් ලීටරය රුපියල් 300 ට බස් හිමියන්ට විකුණනවා.
දැන් බස් සියල්ලම දුවන්නේ ඩීසල් වලින් නොව භූමිතෙල් වලින්. ඩීසල් මිල වැඩි කළ ගමන් බස් ගාස්තුව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරනවා. මේ නිසා ඉදිරියේ දී බස් වලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දීලා බස් ගාස්තුව සියයට හැත්තෑවකින් විතර අඩු කරන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා. ගැමුණු විජේරත්නගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන අවධානය යොමු කරන්න කියලයි.
තවත් ධීවරයෙකු වන ඒ. රවිඳු ප්‍රියාන් මැන්දිස් (40) පැවසුවේ මේ අයුරින්ය.

පාසල් වියෙන් පස්සේ මේ රක්ෂාව කරන්නේ. එක මාසයකට තෙල් ලීටර් පන්සියයක් ලැබෙනවා. අපි දවසට හතර ගමනක් යනවා. එක වරකට තෙල් ලීටර් 30 ක් යනවා. දිය වැලේ හුළං මාරියාව තිබුණම ඊටත් වැඩියෙන් තෙල් පිච්චෙනවා. ලැබෙන තෙල් ටිකවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සමහර දවසට මාළු නැතුව ගොඩ එන දවස් තිබෙනවා. ඇතැම් ධීවරයන් කියා ගන්නා පිරිසක් ෂෙඩ් වල පෝලිමේ ඉදිරියෙන්ම ඉඳල තෙල් අරගෙන බස් හිමියන්ට විකුණනවා. මේ ගැන පියවරක් ගන්නා ලෙස ධීවර ඇමැතිතුමාගෙන් සහ ඛනිජ තෙල් ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය.
Discussion about this post