යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවෙමින් ඇත. මෙම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලබමින් සිටින විශේෂිත කණ්ඩායමක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා යුක්රේනයට පැමිණි සිසුන්ය. යුක්රේනයේ සරණාගත භාවයට පත් විශාලම විදේශික කණ්ඩායම නියෝජනය කරන්නේ උසස් අධ්‍යාපනය සඳහා එරටට පැමිණි සිසුන්ය. ඔවුහු මේ වනවිට ජීවිතය රක්ෂා කරගෙන රට හැර යෑමට මං සොයති.
එහෙත් රට හැර යාමට උත්සාහ කරන විදේශීය සිසුන් පවසන්නේ තමන් යුක්රේන ආරක්ෂක හමුදා සහ දේශසීමා නිලධාරීන්ගේ ප්‍රාථමික වර්ගවාදී සැලකීම අත්විඳින බවය.
එක් අප්‍රිකානු වෛද්‍ය ශිෂ්‍යාවක් සීඑන්එන් වෙත පවසා තිබුණේ යුක්රේනය සහ පෝලන්ත දේශසීමා අතර මුරපොලකදී ඇය සහ අනෙකුත් විදේශිකයන්ට පොදු ප්‍රවාහන බස් රථයෙන් බැසීමට නියෝග කළ බවය.
බස් රථ ධාවනය වන්නේ යුක්රේන ජාතිකයන්ට පමණක් බැවින් ඔවුන්ට පසෙකට වී සිටින ලෙස පැවසූ බව ඇය කීවාය.
ල්විව් හි පළමු වසරේ ඉගනුම ලබන නයිජීරියානු වෛද්‍ය ශිෂ්‍යාවක්වන රචෙල් ඔනෙග්බ්ලූ යුක්රේනයේ අගනුවරවන කියෙව් සිට සැතපුම් 400 ක් පමණ දුරින් පිහිටි ෂෙහිනි නම් දේශසීමා නගරයේ අතරමං වී සිටින්නීය..
ඇය සීඑන්එන් වෙත මෙසේ පැවසුවාය:
“බස් 10 කට වඩා පැමිණියා. අප සියල්ලෝම ඔවුන් පිටව යන දෙස බලා සිටිනවා. සියලු යුක්රේනියානුවන් රැගෙන ගිය පසු ඔවුන් අපව රැගෙන යනු ඇතැයි අප සිතුවා. නමුත් ඔවුන් අපට පැවසුවේ අප පයින් යා යුතු බවයි. තවත් බස් නොමැති බවයි.“
“මගේ ඇඟ සීතලෙන් හිරිවැටිලා. දැන් දවස් 4කින් විතර අපි නිදාගෙන නැහැ. ඔවුන් හැම මොහොතකම අප්‍රිකානු පිරිමින්ට සහ ගැහැණුන්ට වඩා යුක්රේනියානුවන්ට ප්‍රමුඛත්වය දී තිබෙනවා. ඒ ඇයි කියලා අපි අහන්න ඕනේ නැහැ. අපි දන්නවා ඇයි කියලා. ”
රචෙල් ඔනෙග්බ්ලූ ඉරිදා දුරකථන ඇමතුමකින් CNN වෙත පැවසුවේ පෝලන්තයට යාමට දේශ සීමාවේ පෝලිමේ රැඳී සිටියදී ය.
රචෙල් ඔනෙග්බ්ලූ පවසන්නේ සඳුදා උදෑසන ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 4.30 ට පමණ ඇයගේ පිටවීමේ ලේඛනය මුද්‍රා තැබූ බවය.
ඉන්දියානු සිසුහු 13,000ක් යුක්රේනයේ සිටිති. ඉන්දීය බලධාරීන් ඔවුන්ගේ පුරවැසියන් ඉවත් කිරීමේ උත්සාහයන් වේගවත් කර ඇත. එම මෙහෙයුම ගංගා නමින් නම් කර තිබේ. එහෙත් මේ වනතුරුත් එම සිසුන් 13000ක සංඛ්‍යාවෙන් ඉවත් කරගෙන ඇත්තේ සිසුන් දෙදහසක් පමණක් බව සී.එන්.එන් වාර්තා පෙන්වා දෙයි.
21 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ ෂෙයික් අබ්රාර්ට අනුව, ඉන්දියාව සිය වැසියන්ට රට හැර යාම සඳහා උපදෙස් නිකුත් කිරීමට ප්‍රමාද වී ඇත. පෙබරවාරි 15 වන දින ඔවුන් එසේ කළ විට, බොහෝ දෙනෙකුට ආපසු යාමට නොහැකි වී තිබිණි.
ගුවන් ගමන් ගාස්තු වැඩි වූ අතර බොහෝ මධ්‍යම පාන්තික පවුල්වලට ගෙදර යන ගමන දරා ගැනීමට නොහැකි වූ බව ඔහු පැවසීය.
(සීඑන්එන් අසුරිනි)






