ලලංක ජයකොඩි
33 හැවිරිදි ලුසී ලෙට්බි වයඹදිග එංගලන්තයේ චෙස්ටර් කවුන්ටස් රෝහලේ නව ජන්ම ඒකකයේ සේවය කළ හෙදියකි. ඇය එහි ප්‍රතිකාර ගත් අලුත උපන් පිරිමි ළදරුවන් පස් දෙනෙකු සහ අලුත උපන් ගැහැණු ළදරුවන් දෙදෙනෙකු රහසේම ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා වරදකරු බවට අධිකරණය තීන්දු කළේය. එම තීන්දුව අධිකරණයෙන් ලබා දුන්නේ එක පෙළට සිදු කළ මෙම ඝාතන වැල සම්බන්ධයෙන් ලොවම කම්පාවට පත් කරන පුවත් මවමිනි.

සමාජ තක්සේරුව අනුව ලෙට්බි නූතන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුතම ළමා අනුක්‍රමික ඝාතකයා වී ඇත. ශිෂ්ට සමාජයකදී මේ ඝාතන පෙළ කළේ කෙසේදැයි විශ්වාස කිරීමට නොහැකි බව සැබෑය. නමුත් එය සත්‍ය ලෝකයේදී සිදු වී තිබේ. ඒ අනුව එංගලන්තයේ නීතියෙන් වරදකරුවකු වන අයකුට ලැබෙන උපරිම දඬුවම වන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඇයට හිමි වී ඇත.
2015 ජුනි සහ 2016 ජුනි අතර කාලය තුළ ලෙට්බි ඉතා අවදානමට ලක්විය හැකි ළදරුවන් සිය ගොදුරු බවට පත් කර ගන්නා විට ලෙට්බිට වයස අවුරුදු විසි ගණනකි. මේ ඝාතන සම්බන්ධයෙන් සැක පිට ඇය 2018 වසරේදී අත්අඩංගුවට පත් විය.
ඇයගේ ගොදුරු බවට පත් වූවන් අතර පැය 24ක් ඇතුළත මරා දැමූ සමාන ත්‍රිත්ව සහෝදරයන් දෙදෙනෙක්, කිලෝග්‍රෑම් 1 (රාත්තල් 2) ට අඩු බරැති අලුත උපන් බිළිඳෙකු සහ සිව්වන උත්සාහයේදී ඝාතනය කරන ලද සති 10 නොමේරූ ගැහැණු ළමයෙකු ඇතුළත් විය.
නඩු විභාගයේදී ලෙට්බි අලුත උපන් බිළිඳුන්ගේ කුඩා සිරුරුවලට වාතය එන්නත් කිරීමෙන්, සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රාචීරය බිඳ දැමීමෙන් හෝ එක් අවස්ථාවකදී ළදරුවෙකුගේ උගුරට බටයක් තල්ලු කිරීමෙන් මෙම ඝාතන සිදුකර ඇත.
මාස 10 ක දැවැන්ත නඩු විභාගයකින් පසු ඇය මිනීමැරුම් චෝදනා හතකට ඇයව වරදකරු කිරීමට පෙර ජූරිය දින 22 ක් පුරා පැය 100 කට වැඩි කාලයක් මේ සම්බන්ධව සාකච්ඡා කළහ.
ලෙට්බි දිගින් දිගටම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ජූරි සභිකයන්ට පැවසුවේ චෝදනාවලින් ඇය “විනාශ වූ” බවය.
“මම හැමදාම මගේ උපරිමය කළේ ඔවුන් රැකබලා ගැනීමට පමණයි. මම මෙහි සිටින්නේ උදව් කිරීමට සහ රැකබලා ගැනීමට මිස හානියක් කිරීමට නොවේ. ” ඇය කීවාය.
නමුත් මාස 10 ක නඩු විභාගයකින් පසු, කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් හතර දෙනෙකුගෙන් යුත් ජූරි සභාව තීරණය කළේ ඇය පැමිණිල්ල විසින් විස්තර කරන ලද මිනීමැරුම්වලට වැරදිකරු බවය.
ලෙට්බිගේ වින්දිතයින් දෙදෙනෙකුගේ දෙමාපියන් පැවසුවේ ඔවුන්ගේ ඝාතනයට ලක් වූ ළදරුවන් සමඟ ඔවුන්ගේ අවසන් මොහොත ගත කරන විට හෙදිය අමුතු ලෙස හැසිරුණු බවයි.
තවත් දෙමාපියෙක් නඩු විභාගයේදී පැවසුවේ ලෙට්බි යැයි ඔහු විශ්වාස කරන හෙදියක් තම කුඩා පිරිමි ළමයා සමඟ ඔවුන්ගේ අවසන් මොහොතට බාධා කළේ ඔහු තවමත් හුස්ම ගනිමින් සිටියද මිය ගිය ළදරුවන් සඳහා වූ වාතාශ්‍ර කූඩයක තැබීමට උත්සාහ කිරීමෙන් බවයි.
ඇය ශෝකයට පත් දෙමාපියන්ට මෙසේ පැවසුවාය: “ඔහු ඔබෙන් සමුගත්තා. මම එයාව මෙතනට දාන්න ඕනද?” කියායි.
අම්මලා නම් අම්මලාමයි
මෑත කාලයේ දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගයකින් පසුව, මැන්චෙස්ටර් ක්‍රවුන් උසාවියේ දී නඩු තීන්දු ප්‍රකාශයට පත් කරන විට ලෙට්බිගේ මව් පිය යුවළ හඬා වැටුණේ උසාවියේ මහජන ගැලරියද හඬවමිනි.
අවසන් තීන්දුව දෙන දිනයේ ලෙට්බි උසාවියට නොපැමිණියද ඇයගේ දෙමව්පියන් සෑම නඩු වාරයකම අතපසු නොකොට පැමිණියා සේම අවසාන දිනයේද පැමිණියහ. මෙම යුවළට නඩුවේ සෑම විස්තරයක්ම ඇසීමට අවශ්‍ය විය. සමහර විට තම ආදරණීය එකම දරුවා මේ සියල්ලටම අහිංසක විය හැකිය යන බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණා විය හැකිය.
ගිණුම් ලිපිකාරිණියක වන 63 හැවිරිදි සුසාන් මහජන ගැලරියේදී ඇගේ සැමියා වන 77 හැවිරිදි ජෝන් විසින් සනසද්දී, ඇය ඇගේ මුහුණ වසාගෙන හඬා වැටුණාය. ඉන්පසු ඇය තම ස්වාමිපුරුෂයාගේ අතට වැටී වචන අටක් කීවාය: ‘ඔබට බැරෑරුම් විය නොහැක, මෙය නිවැරදි විය නොහැක.’යන්නයි.
මවක ලෙස තම එකම දරුවා අධිකරණයේ උපරිම වරදකරුවකු වනු දකින්නට තබා එසේ සිතන්නටවත් ලෙට්බිගේ මවට කිසිසේත්ම හැකියාවක් නොතිබෙන්නට ඇත. වසර පහකට පෙර ඇය අත්අඩංගුවට ගන්නා තෙක් ලෙට්බි ඔවුන් සමඟ ජීවත් වූවාය.
MailOnline වාර්තා කරන පරිදි, තම දියණිය ප්‍රථම වරට අත්අඩංගුවට ගත් විට තම දියණිය ආරක්ෂා කර ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටි සූසන්, ‘මම ඒක කළා, ඒ වෙනුවට මාව අරන් යන්න’ කියා පොලිසියට පවා කියා ඇති බව වාර්තා වේ.
විමර්ශකයන් සැක කරන්නේ ලෙට්බි අධිකරණයේ තීන්දුවට පෙර ඇයට චෝදනා කරන අපරාධවල බිහිසුණු ස්වභාවය පිළිබඳ ඉතා අල්ප විස්තරයක් ඇගේ දෙමාපියන්ට පවසා ඇති බවය.
මව්පියන්ට විශේෂයෙන්ම අම්මාලට තම දරුවන් කුමන තත්ත්වයේ සිටියද ඔවුන් තම දරුවන්ය. දරු කැක්කුම තරම් කැක්කුමක් මේ ලොව තවත් තිබිය නොහැකිය. දරුවන් අහිමි වීම තරම් වේදනාවක් මවකට – පියකුට තවත් තිබිය නොහැකිය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
එය ලුසී ලෙට්බිගේ මවටත් ලෙට්බි විසින් ඝාතනය කළ දරුවන්ගේ මව්වරුන්ටත් සැමදා පොදු වේදනාවක් වනු නොඅනුමානය.