මනම්පිටිය නිමල් ජයරත්න –
“මට නින්ද ගිහින් හිටියෙ… එකපාරටම ඇහැරුණා. එතකොට දොරෙන් කලුපාට උස මනුස්සයෙක් මා ළඟට ආවා. පස්සේ මම කුණුහරපයකුත් කියාගෙන බැස්සා මූට ගහන්න. “
“ඒත් එක්කම මුගෙ අතේ තිබ්බා පොල්ලක් හරි, මිටියක් හරි, පිහියක් හරි, මොකද්ද කියලා මට තේරෙන්නෑ… ඒකෙන් මට කෙටුවෙ, මට කොටනකොටම නෝනා එක පැත්තක නිදාගෙන හිටියා. කොටන කොටම නෝනගේ තමයි වැදුනේ..“
“මම ඌ පස්සේ පැන්නුවා. පන්නාගෙන යනකොට මගේ ගේ ඇතුලේ මට වඩා හොඳට ඌ දුවගෙන ගියා., ඒ වෙලාවේ ගෙදරට ලයිට් නිවලා තිබුණේ. ඒත් එක්කම ඌ පැනලා ගියා.“
එලෙස මාධ්‍යයට අදහස් දැක්වූයේ අද ( 4 ) වැනිදා අලුයම 2,30 ට පමණ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ එම්.එල්. යමුනා පද්මිණී කපා කොටා ඝාතනය කෙරුණු සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇගේ ස්වාමියා වන හතළිස් තුන් වියැති කපිල බණ්ඩාර නැමැත්තාය.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීනිය යමුනා පද්මිණී 4වැනිදා අලුයම දෙකයි තිහට පමණ ඇයගෙ දෙමහල් නිවසට පැමිණි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා පවසන බව ලංකාපුර පොලිසියත් සඳහන් කරයි,
මෙම සිදුවීම් වෙද්දි ඝාතනයට ලක්වූ ඇගේ ස්වාමියා වන කපිල බණ්ඩාර සහ ඔහුගේ දරුවන් දෙදෙනාද නිවස තුළ සිට ඇති අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පුළුල් පරීක්ෂණයක් මේවන විට ආරම්භ කර ඇතැයි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණ අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම පරිපාලන නිලධාරිනියගේ සැමියා මුරකරුවෙකි. ඔහු ලංකාපුර කෑගලු ගම කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කරන්නේය. ඔහු සිය බිරිඳගේ ඝාතනය සම්බන්ධව මාධ්‍යයට මෙලෙසද අදහස් දැක්වූයේය.
“මම දෙකයි විස්සට විතර නැගිටලා වොෂ්රූම් ගියා, ඊට පස්සේ නෝනගේ නෙට් එකේ ඇතුලේ ඉන්න මදුරුවො එලවලා, මගේ නෙට් එකේ ඉන්න මදුරුවොත් එලවලා මම නිදා ගත්තා. ඒ වෙලාවේ දෙකයි විස්සට විතර ඇති. මම ඊයෙ නිවාඩු. වැඩට ගියේ නෑ. නිදාගත්තට පස්සෙ මට ටක් ගාලා සද්දයක් ආවා, එතකොට මට නිදා ගත්ත හැටියෙමයි. මට හොඳට නින්ද ගියේ නෑ. සද්දෙ එනකොට මට එක පාරම ඇහැරුණා,“
“එතකොට කරුවලයි, එවෙලෙ ලයිට් ඕෆ් කරලා තිබුණේ. ඌ ගහන පාර මට වැදුන් නෑ . මට වැදෙනවා නං කොන්දට තමා වඳින්න තිබ්බේ, නෝනට තමයි වැදුනේ, ලොකු දුව කෑගැහුවා අප්පච්චි කියලා. එතකොට මම , එලියේ අරු පස්සෙ දුවගෙන ඇවිත්. මම හිතුවා තව කවුරුහරි ගෙයි තුළ ඉන්නවා කියලා. ආපහු ගෙට මම දුවගෙන ගියා. ඒ නිසා ගලකින්වත් ඌට ගහ ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඌ හෙල්මටයක් වගේ දාගෙන හිටියා., ඒක තමයි ටක් ගාලා මට ශබ්දයක් අර ඇහුනේ.“
“පස්සේ මගේ දරුවො දෙන්නා වඩාගෙන ඉස්සරහ ගෙදර මාමාලාට කෑ ගැහුවා. කඩුවක්, මන්න පිහියක්, එහෙම අරං ඇවිල්ලා අපි බැලුවා ඌ ඉන්නවද කියලා. හිටියේ නෑ.“
“ඒ කරලා මම ඕ.අයි.සී මහත්තයට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ 1990 කතා කළා. හොස්පිටල් එකට අරන් ගිහිල්ලා පැයකට පස්සේ තමයි මගේ නෝනා නැති වුණේ. මම හැමෝටම වචනෙකින් හරි උදව් කර මනුස්සයෙක්. කවුරුවත් තරහාකාරයො හිටියේ නෑ. විනාඩි තිහක් පමණ නෝනා රෝහලට අරන් යන්න පරක්කු වුණා. මැදිරිගිරියේ ඉඳලා තමයි 1990 ආවෙ. විනාඩි විස්සක් විතර ඒකට කල් ගියා.“
ඝාතනයට ලක්වූ යමුනා පත්මිනි මහත්මියගේ ස්වාමියා වන කපිල බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නොමැති අතර පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණගේ උපදෙස් පරිදි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.පි.කේ පතිරණගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
.