ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව විසුරුවාහැර වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව විපක්ෂය සහ ආණ්ඩුවේම මන්ත්‍රීවරු බහුතරයකගේ මතය වී ඇත.
21 වැනි සංශෝධන කෙටුම්පත ඇමති මණ්ඩලයට කීප වතාවක්ම ඉදිරිපත් කළ ද තවමත් එය සම්මත කරගැනීමට නොහැකි වූ බවත් ඉන් සනාථ වන්නේ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට නැති බවත් යැයි ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුලින් තිබූ යෝජනා බොහෝමයක් ඉන් ඉවත් කර තිබෙන බවත් එසේ දිනෙන් දින එහි කෑලි හලා දමමින් ගෙන එන සංශෝධනයෙන් පලක් නොවන බවත් බහුතරයකගේ මතය වී ඇති බවත් ඔහු කීවේය.
නව සංශෝධනය හරහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමෙන් පසු මහා මැතිවරණයකට යෑමට ආණ්ඩුව සැලසුම් කර තිබුණ ද මේ වනවිට එම සලැසුම වෙනස් වී ඇති බව කී ඔහු තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මැතිවරණයක් සඳහා ගමන් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීමට සැරසෙන බව කීවේය.
උද්ගතව ඇති තත්ත්වය මත දේශපාල ස්ථාවරත්වයක් යළි ඇතිකරගත හැකි වන්නේ මහා මැතිවරණයක් කැඳවා ජනතාවට තමන් කැමති පාලන තන්ත්‍රයක් ඇතිකරගැනීමෙන් බව පවසන එම මන්ත්‍රී කණ්ඩායම 21 වැනි සංශෝධනයේ ප්‍රමාදය හා එහි අන්ර්ගතය දිගින් දිගටම වෙනස්වීම මෙන්ම එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට ඇති වී තිබෙන බාධාවත් සම්බන්ධව තම කණ්ඩායම දැඩි අප්‍රසාදයෙන් යුතුව බලා සිටින බව ද ඔහු පැවසීය.
මැතිරවණයක් පවත්වන්නේ නම් මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කැප කිරීම් කිරීමට සූදානම් බවත් මහා පරිමාන වියදම් කපා හැර මූලික අවශ්‍යතාවයක් සේ සලකා මේ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඇතිකරගන්නා දේශපාලන ස්ථාවරත්වය නොමැතිව ලෝකය සමග ඉදිරි ගනුදෙණුවක් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.







