රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තබා ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්ඩංගුවට ගැනීමට ලැබුණු මහේස්ත්‍රාත් නියෝගයට අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ වෙඩි තබීමට සම්බන්ධ බව කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු අද (28) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය දා 19 වැනිදා රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තැබීමට නියෝග දුන් බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී වන අතර සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාද කුණ්ඩසාලේ පොලිස් රෝහලට ඇතුළත්ව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව නඩු විභාගය මෙහෙයවූ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට නියෝග කළ සහ එම නියෝග ක්‍රියාත්මක කළ පොලිසියේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළෙ ඊයේ දිනයේ දීය.
මෙම නියෝගයෙන් පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වමනය රෝග ලක්ෂණ සමඟ ඊයේ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති අතර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න සමඟ පොලිස් නිලධාරීන් සිව් දෙනකු අද පෙරවරුවේ කුණ්ඩසාලේ පොලිස් රෝහලට ඇතුළත්ව ඇත.
අද සවස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිලධාරීන් අතරින් කොස්තාපල්වරුන් තිදෙනෙකි. ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ පසු රඹුක්කන “ඝාතක පොලිස්“ කණ්ඩායම ලෙඩ වෙලා!







