දිනසේන රතුගමගේ –
මේ රජය මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න දෙස බලනවාට වඩා සංවේදීව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතා ප්‍රශ්න දෙස බලන බවත් සියල්ල පසෙක දමා බලය රැකගැනීම සඳහා මේ රජය කරන ප්‍රාථමික දේශපාලනය දැන්වත් නවතා දැමිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පවසයි.
රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කරමින් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරණ දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටින්නේ රජය විවිධ සාකච්ඡා පවත්වමින් උත්සහ කරන්නේ ජනතාව මුහුණ පා සිටින අර්බූද හා ප්‍රශ්න වලට විසදුම් සොයා දීමට නොව කෙසේ හෝ ඔවුන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට බවය.
නමුත් තමිල්නාඩු මහ ඇමතිවරයා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න තේරුම් ගෙන එම පළාත්වල වැසියන්ට ආහාර ද්‍රව්‍ය තොගයක් මධ්‍යම රජයේ සහය මත පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබීම දෙස බලන විට ඉන්දියාවට ශ්‍රී ලංකාවේ වැසියන්ගේ ප්‍රශ්න තේරුම් ගැනීමට හොඳ ශක්තියක් ඇති බව පෙනී යන බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියි.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ වත්මන් අර්බූදය තේරුම් ගෙන ඇති ආකාරයට වඩා ඉතා හොදින් රජය එම ප්‍රශ්න ගැන සොයා බලා කටයුතු කළ යුතු නමුත් රජය එවැනි සොයා බැලීමක් නොකරණ බවද ඔහු සදහන් කරයි.
මේ තත්ත්වය නිසා ඉන්දීය රජයට තමන් මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරණ බවත් ආර්ථික අර්බුදය හමුවේ විපතට පත්ව සිටින ජනතාවට තව තවත් සහන සලසා දිමට උනන්දු වන ලෙසත් ඉල්ලමින් ලිපියක් යොමු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.







