දිනසේන රතුගමගේ –
මන්නාරමේ සිට බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගිය තවත් දෙමළ වැසියන් 19 දෙනෙකුට රාමේස්වරන් මණ්ඩපම් සරණාගත කදවුරේ රැකවරණය ලබා දෙන ලෙස රාමේස්වරන් අධිකරණය විසින් ඊයේ ( 10 ) නියෝග කොට තිබේ.
මේ පිරිසෙන් දෙදෙනෙකු ත්‍රිකුණාමලයේ පදිංචි කරුවන් වන අතර අනෙක් අය වවුනියාව හා කිළිනොච්චිය පළාත්වල පිරිසකි.

ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා මේ පිරිස ඉන්දියාව බලා ගොස් ඇති අතර බෝට්ටුකරුවන් ඔවුන්ව ධනුෂ්කොඩි අරිචල්මුනේ පලවන වැලිකන්දට ගොඩ බස්සවා ආපසු පැමිණ තිබේ.
ඉන්දීය වාර්තා දක්වන අන්දමට පසුගිය දින කීපය තුළ උතුරෙන් ඉන්දියාවට පලා ගොස් එහි සරණාගතභාවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 42 කි.
ඔවුන් ඉන්දීය බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත්තේ ආර්ථික අහේනිය නිසා උතුරේ ජීවත් වීමට මගක් නොමැතිකම නිසා බෝට්ටු වලට මුදල් ගෙවා ඉන්දියාවට පලා ආ බවයි.
මේ අතර ඉන්දියාවට පලායන නීති විරෝධී සංක්‍රමණිකයින් අත් අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව මේ වන විට උතුරු මුහුදුකලාපයේ ආරක්ෂාව දැඩි කොට සෝදිසි මෙහෙයුම්ද වැඩි කොට තිබේ.







