-
සමාගම කැරපොතු අඬු සහිත සැනිටයිසර් සැපයීම නිසා අසාධුගත සමාගමක්.
-
ඉහළම නිලධාරියෙකුගේ ආශීර්වාදය සහිතව යළි මේ සමාගම ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග හවුල්කාර ව්‍යාපෘතියකට ඇවිත්…
-
සියලුම හයිය අරන් සමාගමේ බාල සැනිටයිසර් ගන්න සෞඛ්‍ය සැපයුම් ඒකකට බලපෑම්… ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියනයක්…
ෙඅසාදුගත වූ සමාගමක් මඟින් නිෂ්පාදනය කරන ලද මිනිස් ශරීරයට අහිතකර බව සඳහන් රසායනික සංයෝග සහිත බාල වර්ගයේ අත් සේදීමේ විෂ බීජ නාශක දියර (සැනිටයිසර්) තොගයක් සෙසු සම නිෂ්පාදනවලට වඩා වැඩි මිලකට ලබා ගන්නා ලෙසට එම සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරන ආකාරය ගැන ලංකාසරට වාර්තා වේ.
මේ අසාදුගත සමාගම ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉහළම නිලධාරියෙකුගේ ආශීර්වාදය සහිතව එම සංස්ථාව සමඟ හවුල්කාර ව්‍යාපෘතියකට පැමිණ ඇති බවත්, එම සියලු බලය සහිතව මැර භූමිකාවක් රඟ දක්වමින් මෙසේ අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරන මට්ටමට ඔවුන් පැමිණ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මීට වසරකට පෙර, එනම් 2020 මාර්තු මස 17 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ විසින් මෙම විෂ බීජ නාශක වර්ගයක එක් කාණ්ඩයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙසට අදාළ නිවේදනයක් නිකුත් කරන ලද අතර ඊට හේතු වූයේ එක් විෂබීජ නාශක දියර බෝතලයක මිය ගිය කැරපොත්තකුගේ අණ්ඩක් අන්තර්ගතවීම සහ එහි ඇසුරුම විධිමත් ආකාරයට නොපැවතීම යන කරුණු හේතුවෙනි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සැපයුම් අංශය මෙම නිෂ්පාදනය ලබා ගෙන තිබුණේ කොරෝනා වසංගතයට පෙර රෝහල්වල ශල්‍යාගාර සහ සායනික කටයතුවලදී සෞඛ්‍ය සේවකයන්ගේ දෑත් පිරිසිදුකිරීම් කාරකයක් වශයෙනි.
මෙසේ අසාධුගත වූ මෙම සමාගම විසින් සපයනු ලබන අත් සේදුම්කාරක දියරයේ 1 ප්‍රොපනොල් (01 Propanol) නම් සංයෝගය අඩංගු වන බව තහවුරු වී ඇත. එම රසායනික ද්‍රව්‍යය මිනිස් සිරුරට අහිතකර ලෙස ක්‍රියා කරන බැවින් එය අඩංගු සැනිටයිසර් භාවිතයට අනුමැතිය ලබා නොදීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබේ.
සාපේක්ෂ්ව අඩු වියදමින් මෙම රසායන ද්‍රව්‍ය සංයෝග කර නිපදවූවද වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සැනිටයිසර් තොගය වෙනත් නිෂ්පාදනවලට සාපෙක්ෂව ඉහළ මිලකට නම් කර ඇති බවය. වාර්තාවන ආකාරයට මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියනයක් පමණය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ හවුල්කාර ව්‍යාපෘතියක මුහුණුවරින් පැමිණෙන මෙම අසාධුගත සමාගම තම නිෂ්පාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා ගත යුතුම බවත් නොගත්තොතත් වෙන දේ බලාගන්නැයි ඇතැම් නිලධාරීන්ට තර්ජනය කර ඇති බවත් මෙම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.