කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ රෝහලේ සියලුම හෙද හෙදියන් අද උදෑසන 07 සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.
කොවිඩ් වසංගත තත්වය යටතේ සේවයේ යොදවා ඇති හෙද හෙදියන්ට නියමිත නිවාඩු හා ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය දක්වමින් අද දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් ඔවුහු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.
ආරක්ෂිත පහසුකම් ඉල්ලා මාස තුනක් තිස්සේ කරන ඉල්ලීම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදු වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් ගම්පහ දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් හේමකාන්ති අත්තනායක ලංකාසරට පැවසුවාය.
හෙද නිලධාරීන් 450ක් පමණ මේ වනවිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බවත්, මානුෂික හේතූන් මත සලකා හදිසි ප්‍රතිකාර ඒකකයේ හා දැඩි සත්කාර අංශවල හෙද පිරිස් සිවිල් ඇඳුමින් සේවයේ නිරතවෙමින් ඇති බවත් ඇය වැඩිදුරටත් කීවාය.
ගම්පහ රෝහල් අධ්‍යක්ෂකගෙන් මේ පිලිබඳව කළ විමසීමක දී කියා සිටියේ රෝහලේ රෝහලේ කටයුතු බිඳවැටීමකින් තොරව සාමාන්‍ය පරිදි කළමනාකරණය කරගෙන යන බවය.







