සූරියවැව නුවන් ජයසේකර –
දේපළ සොරකම් කිරීමේ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.
ඊයේ (15) දින මෙම පැනයාම සිදුව ඇත. මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත්තේ තිස්සමහාරාමය, පන්නෙගමුව සහල් ගබඩා සංකීර්ණයේ දේපළ සොරකම් කිරීම සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5300ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි.
ලියන ආරච්චිගේ සුරේෂ් ප්‍රසන්න නැමැති මෙම සැකකරු අංක 1128/05, එකමුතුගම, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහුව පසුගිය මැයි මස 22 වන දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇත.
රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු නඩු වාරය සඳහා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත්, එහි උසාවි සිරමැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ව මඟහැර මෙලෙස පළාගොස් තිබේ.
පළාගිය සැකකරු සොයා තිස්සමහාරාමය පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව මේ වනවිට විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.








