යාපනය, පුංගුඩුතීව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ගෙළ මිරිකා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද මරණ දඬුවම යාපනය මහාධිකරණය විසින් ඊයේ (15) විත්තිකරුවන් ඉදිරියේ යළි කියැවූයේය.
පාසල් දැරියක වූ විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පුද්ගලයන් හත් දෙනෙකු වරදකරුවන් වූ අතර, ඔවුන්ට යාපනය මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවනු ලැබීය.
පසුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාගයෙන් අනතුරුව, මරණ දඬුවම නියම වූ හත් දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි. එමෙන්ම, පෙත්සම් විභාගයට පෙරදීම එක් වරදකරුවකු බන්ධනාගාරයේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව සිටියේය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී වරදකරුවන් හතර දෙනෙකු වෙනුවෙන් යාපනය මහාධිකරණය පැනවූ මරණීය දණ්ඩනය යළි තහවුරු විය. කෙසේ වෙතත්, එම නඩු තීන්දුවත් සමග කලකිරීමට පත් වූ තවත් එක් වරදකරුවකු කොළඹ බන්ධනාගාරයකදී ගෙළ වැළලාගෙන මියගොස් තිබිණි.
ඒ අනුව යාපනය මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව යළි කියවා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලැබූ දෙදෙනා නිදහස් කොට, ජීවතුන් අතර සිටින අනෙක් වැරදිකරුවන් තිදෙනාට මරණ දඬුවම හිමිව ඇති බව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.
නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම වැරදිකරුවන් තිදෙනා දැඩි ආරක්ෂාව මධ්‍යයේ යාපනය බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.






