කපිල කේ හීනටියන –
ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කරමින් වසර 17කට අධික කාලයක් පුරා වාණිජ මගී ගුවන් යානා පදවනු ලැබූ “එයාර් කැනඩා” (Air Canada) ගුවන් සේවයේ හිටපු ප්‍රධාන නියමුවෙකු (Captain) කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔන්ටාරියෝ හි පදිංචි 59 හැවිරිදි ජෙෆ්රි වෝල් (Geoffrey Wall) නැමැති මෙම නියමුවා, 2009 වසරේදී ප්‍රධාන නියමු (Captain) තනතුරට උසස්වීම් ලැබූ දින සිට මෙලෙස ව්‍යාජ ලේඛන භාවිත කරමින් කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඔහුට එරෙහිව මේ වන විට මූල්‍ය වංචා ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.
පසුගිය වසරේදී මෙම ව්‍යාජ ලේඛන පිළිබඳ තොරතුරු අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වූ එයාර් කැනඩා ආයතනය, ඔහුව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. “අදාළ වංචාව හෙළි වූ වහාම අප සමාගම ස්වේච්ඡාවෙන්ම මේ පිළිබඳව කැනඩා ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Transport Canada) වෙත දැනුම් දුන්නා” යැයි එයාර් කැනඩා ගුවන් සේවය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, සෑම ගුවන් නියමුවෙකුම සෑම මාස හයකට වරක්ම දැඩි නිපුනතා පුහුණුවීම්වලට (Competency Training) යොමු කරන බැවින්, මගීන්ගේ ආරක්ෂාවට කිසිදු අවදානමක් මතු නොවූ බවද ගුවන් සමාගම අවධාරණය කරයි.
පීල් ප්‍රාදේශීය පොලිසියේ (Peel Regional Police) නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී නික් මිලිනොවිච් (Nick Milinovich) ප්‍රකාශ කළේ, වෝල් නැමැති මෙම නියමුවා 1998 වසරේ සිට වසර 27ක් පුරා එයාර් කැනඩා ආයතනයේ සේවය කර ඇති බවය. 2009 වසරේදී ඔහු යානයක ප්‍රධාන වගකීම දරන “පයිලට්-ඉන්-කමාන්ඩ්” හෙවත් කැප්ටන් තනතුරට පත්වීමේදී මෙම වංචනික ක්‍රියාව ආරම්භ කර තිබේ
. කැනේඩියානු නීතියට අනුව එම තනතුර සඳහා ගුවන් සේවා ප්‍රවාහන නියමු බලපත්‍රය (ATPL) තිබීම අනිවාර්ය වන අතර, එය ලබා ගැනීමට ලිඛිත විභාග මාලාවක් සමත් විය යුතුය.
“මේක හරියට පවුලේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න බලපත්‍රය තියාගෙන, තමන්ගේ සායනය ඇතුළේ මොළයේ සැත්කම් කරනවා වගේ වැඩක්” යැයි පොලිස් ප්‍රධානියා මෙහි බරපතලකම පෙන්වා දෙමින් පැවසීය.
පොලිස් වාර්තාවලට අනුව, පසුගිය වසර 17 තිස්සේ මෙම නියමුවා විවිධ වර්ගයේ බෝයිං (Boeing) ගුවන් යානා පදවමින් දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 900කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇත. ඒ වෙනුවෙන් ඔහු වැටුප් වශයෙන් ඩොලර් මිලියන ගණනක් උපයා තිබෙන්නේ කිසිදු නිසි සුදුසුකමකින් තොරවය.
පසුගිය වසරේ සිදුකළ සාමාන්‍ය ලේඛන ඇගයීමකදී (Routine Evaluation) මෙම නියමුවාගේ බලපත්‍රවල නොගැලපීම් කිහිපයක් නිරීක්ෂණය වී ඇති අතර, පසුව කැනඩා ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අනතුරුව ටොරොන්ටෝ කලාපීය පොලිසිය අධිකරණ නියෝග මත සිදුකළ සෝදිසි කිරීම් සහ ලේඛන විශ්ලේෂණවලින් පසුව මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍රයක් බව තහවුරු කරගෙන ඇත.
ඒ අනුව ජුනි 1 වැනිදා වෝල් නමැති මෙම පුද්ගලයාට එරෙහිව වංචා කිරීම, ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම සහ ව්‍යාජ සලකුණු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා හතක් යටතේ නඩු පවරා තිබේ.
එයාර් කැනඩා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පුද්ගලයා සතුව වලංගු වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් (Commercial Pilot Licence) තිබූ අතර ඔහු සම්පූර්ණ පුහුණුව ලබා තිබූ අයෙක් වුවද, කැනේඩියානු රෙගුලාසි අනුව කැප්ටන්වරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රධාන ATPL බලපත්‍රය ඔහු සතුව නොතිබූ බවය.
මෙම සිදුවීමෙන් පසු තම සියලුම නියමුවන් පිළිබඳ හදිසි විගණනයක් (Audit) සිදුකළ බවත්, වෙනත් කිසිදු නියමුවෙකුගේ එවැනි ගැටලුවක් නොමැති බවත් සමාගම පවසයි.
මෙතරම් වසර ගණනාවක් මෙම වංචාව හසු නොවී පැවතියේ කෙසේදැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් ප්‍රධානී මිලිනොවිච් පැවසුවේ, ඇතැම් වංචාකරුවන් මිනිසුන් රැවටීමට සහ මුළා කිරීමට “ඉතා දක්ෂ” වන බවය.
“නීති විරෝධී වංචාවන් වසර ගණනාවක් තිස්සේ අහුවෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවක හරි ඒක අහුවෙනවා. එතකොට අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා” යැයි ඔහු පැවසීය. ( බීබීසී)







