තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, සුපිරි නළු විජේගේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ (TVK) පක්ෂය එම්.කේ. ස්ටාලින්ගේ DMK සහ EPS ගේ AIADMK යන ප්‍රබල ද්‍රවිඩ පක්ෂ අභිබවා යමින් ඓතිහාසික ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටී.
මෙය පූර්ව මැතිවරණ තක්සේරු කණපිට හැරීමකි. බොහෝ විට විජේ මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස මතුවනු ඇතැයි මැතිවරණ විචාරකයෝ ඊයේ වනතුරුත් සිය පුරෝකථනය පල කළහ. එහෙත් දැනට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 100කට අධික සංඛ්‍යාවක ඉදිරියෙන් සිටින TVK පක්ෂය, තනි පක්ෂයක් ලෙස තමිල්නාඩු සභාවේ බහුතරය වන ආසන 118 සීමාව කරා වේගයෙන් ළඟා වෙමින් පවතී.
දේශපාලන විචාරකයින් පවා මවිතයට පත් කරමින් විජේ ලබා ඇති මෙම ජයග්‍රහණය තමිල්නාඩුව තුළ විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති කිරීමට සමත්ව තිබේ. පක්ෂ කාර්යාල ඉදිරිපිට ජයග්‍රාහී හඬ දසත පැතිර ගියද, මෙම ජයග්‍රහණයේ නියමුවා වන විජේ තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම කාගේත් අවධානයට ලක්ව ඇති කරුණකි.
විජේ තවමත් නිහඬයි
තමිල් සිනමාවේ බොහෝ චිත්‍රපට පළමු අර්ධය සාර්ථක වුවද දෙවන අර්ධය අසාර්ථක වන ‘දෙවන අර්ධයේ සින්ඩ්‍රෝමය’ (Second Half Syndrome) දේශපාලනයේදී තමාට අදාළ කර නොගැනීමට විජේ ප්‍රවේශම් වන බවක් පෙනෙන්නට තිබේ. මැතිවරණ කොමිසමේ නිල සහතිකය ලැබෙන තෙක් ඔහු සිය සුපුරුදු ‘නිහඬ ප්‍රතිපත්තිය’ රකිමින් සිටින බව පෙනේ.
මෙම තීරණාත්මක මොහොතේ විජේගේ සමීපතමයින් සහ පවුලේ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වෙමින් සිටිති. ඔහුගේ පියා වන ප්‍රවීණ සිනමාකරු එස්.ඒ. චන්ද්‍රසේකර් තිරුත්තනි මුරුගන් කෝවිලේ ආශිර්වාද ලබා ගත් අතර, අද දින උපන්දිනය සමරන විජේගේ සමීපතම මිතුරියක වන නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් තිරුපති කෝවිලේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු විජේගේ නීලංකරායි නිවසට පැමිණීම මාධ්‍ය අවධානයට ලක් විය.
කලඑලි බහින්න සුබ නැකතක් එන තුරු සිටිනවා ද?
විජේගේ නිවස තුළ පවතින්නේ උත්සව සිරියකි. පක්ෂයේ සංකේතය වන ‘විස්ල්’ නාදය නිවස පුරා රැව් දෙන අතර, එය සිනමා ශාලාවක ප්‍රථම දර්ශනයක් (FDFS) නරඹන උද්යෝගිමත් වාතාවරණයකට සමාන බව දිස්වෙමින් ඇත. එහෙත් විජේ තවමත් නිහඬය. ඔහුගේ කළමනාකරු ජගදීෂ් සහ ජ්‍යොතිෂවේදියෙකු නිවසට පැමිණෙනු දක්නට ලැබුණු අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජයග්‍රාහී ගමන ආරම්භ කිරීමට සුබ මොහොතක් එනතෙක් ඔහු රැඳී සිටින බවය.
2024 පෙබරවාරි මාසයේදී පක්ෂය පිහිටුවූ දා සිට විජේ මාධ්‍ය මගහැරීමේ උපායමාර්ගයක් අනුගමනය කළේය. ඔහු සාම්ප්‍රදායික මාධ්‍ය සාකච්ඡා වෙනුවට දැවැන්ත ජන රැලි හරහා සෘජුවම ජනතාව ඇමතීමට ප්‍රමුඛතාව ලබා දුන්නේය.
ජනප්‍රිය නළු එම්.ජී.ආර්. පවා මෙවැනි දේශපාලන පෙරළියක් කිරීමට වසර ගණනාවක් මහජන සබඳතා පැවැත්වූ නමුත්, විජේ සිය නිහඬ විප්ලවය හරහා ඉතා කෙටි කලකින් තමිල්නාඩු රාජ්‍යයම මවිතයට පත් කර තිබේ.
දැන් මුළු ඉන්දියාවම බලා සිටින්නේ විජේ සිය නිහඬතාව බිඳ දමමින් ජයග්‍රාහී කතාව පවත්වන්නේ කවදාද යන්න පිළිබඳවයි.







