හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ තුවාන් සුරේෂ් සලෙයි අද උදෑසන අත් අඩංගුවට පත් වූයේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරනු ලබන විමර්ශනවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත මේ සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය. මේ කාරණාව ඇතුළු කරුණු කීපයක් සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පොලිස් මූලස්ථානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැද්දවත්ත සහ නීති කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම හමුවේ ලබා දුන් පිළිතු පහත දැක්වේ.
මාධ්‍යය – පාස්කු ප්‍රහාර විමර්ශන වසර ගණනාවක් සිද්ධ වුනා. පාස්කු ප්‍රහාරය කියන්නේ පුළුල් ක්ෂේත්රයක් කියලා ඔබතුමන්ලා කිව්වා. ඒවගේම දැන් ඔබතුමන්ලා කිව්වා සුරේෂ් සලෙයි අත් අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කියලා. පුළුල් ක්ෂේත්රයක් ඇතුළෙ මේ අත් අඩංගුවට අරන් තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ වගේම බාහිර පාර්ශවයක් නෙමෙයි. ඔබතුමන්ලාත් එක්ක මේ ආරක්ෂක අංශවලට සම්බන්ධ වෙලා හිටිය ඉහළම තනතුරක් දරපු පුද්ගලයෙක්. මොකක්ද මේ විමර්ශනය. මොනවගේ සම්බන්ධතාවයන් ද මේ සැකකරු සහ පාස්කු ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධව තිබිලා තියෙන්නේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – අපි කාගෙත් වගවීමක් තියනවා ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව. ඒ වගේම මේ රටේ පුරවැසියන්ට ඒ වගකීම තියනවා මට වගේම. මේ අත් අඩංගුවට ගැනීම කළේ අද. ඔහු කවුද කියලා පැහැදලි කළා මුලදිම.
මේ විමර්ශනය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් . මේ සම්බන්ධව කියන්න තියෙන්නේ එයයි. මේ අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය සර්ව සාධාරණ හේතු තිබුණ නිසා.
අත් අඩංගුවට ගන්න නිශ්චිත කාරණා මට මේ වෙලාවෙ කියන්න හැකියාවක් නෑ. මොකද හේතුව ඒක කියන්න සිද්ධ වෙන්නෙම විමර්ශන අනුව. ඔහුව අද උදේ අත් අඩංගුවට ගත්තේ. අපි මෙතන ඉන්න කවුරුත් ඔහුව ප්‍රශ්න කරන්න එක් වුනේ නෑ. ඒක ඉදිරියේ දී තීරණය කරන්න පුලුවන්. අත් අඩංගුවට ගැනීමට පදනම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි තිබීම. ඒක තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ. විමර්ශන අනුව ඉදිරිය තීරණය වේවි.
මාධ්‍යය – අද මාධ්‍ය සාකච්ඡාවේදි මේ ප්රශ්නය එන වග ඔබ දන්නවා. ඒ වගේම මේ අත් අඩංගුවට ගැනීමට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා ගණනාවක් තියලා තියනවා. දැන් ඔබට යුතුකමක් නැද්ද මේ අත් අඩංගුවට ගත්තේ මොන හේතුව නිසාද කියලාවත් රට දැනුම්වත් කරන්න.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න එක් ප්‍රධාන හේතුවක් තමයි මේ අත් අඩංගුවට ගැනීම. අත් අඩංගුවට ගත්තේ ඇයි කියලා විස්තර දැන් අපට කියන්න බෑ . අත් අඩංගුවට ගන්න හේතුව මේ පාස්කු ප්‍රහාරයට යම් කිසි සම්බන්ධතාවයක් තිබුණ නිසානේ. මේ අත් අඩංගුවට ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයිනෙ. ඔහු ඇවිල්ලා බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු අත් අඩංගුවට ගන්න හේතුව මේ සම්බන්ධව කරන විමර්ශන.
අපට මේ සම්බන්ධව තව දවස් කීපයක් ලබා දෙන්න. මොකද අද උදේ අත් අඩංගුවට අරන් මට කියන්න බෑ පැය කීපයකින් මොකක්ද සම්බන්ධය කියලා. ඒ නිසා ඒකට අවස්ථාවක් දෙන්න.
මාධ්‍යය – ඔබතුමන්ලගේ අදහස් දැක්වීමට එකඟ වෙන්න බෑ. මොකද මේ අත් අඩංගුවට අරන් තියෙන්නේ ඔබ තුමන්ලත් ඉන්න ආරක්ෂක අංශයෙ ප්‍රධානියෙක්. මේ මොහොතේ ඔබතුමන්ලා ඇවිත් කියනවා නම් අත් අඩංගුවට අරන් තියෙන හේතුව කියන්න බෑ කියාල ඒක ප්‍රශ්නයක්. සැකකරුවෙකුට තියනවා නීතයේ නිර්දෝෂී භාවය පිළිබඳව අයිතිය.. දැනගන්න අවශ්‍යයයි රටේ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාව අත් අඩංගුවට ගත්තේ ඇයි කියලා. මිනිස්සු දෙසීය ගාණක් මැරණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධතාවයක් තියනවා ද කියලා. ඔය අත් අඩංගුවට ගත්තා කියන තැනින් එහාට මොනවගේ සම්බන්ධතාවයක් ද තියෙන්නෙ කියලාවත් සීමාවක් ඇතුළේ හරි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් ඔබට කළා. මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවෙ මෑතක දි සිද්ධ වුන ප්රබලතම විමර්ශනයක්. ශ්‍රී ලංකාවේ අපේ රටේ ජනතාව වගේම විදේශිකයන් ගණනාවක් මරුමුවට පත් වුනා. අදටත් මේ මරණයට ගොදුරු වූ පුද්ගලයින්ගේ පවුල් ගණනාවක් ඉන්නවා. මේ සම්බන්ධව සාක්ෂි කොපමණ සටහන් කරලා තියනව ද?. කොමිෂන් සභා දෙකක් තිබ්බා. ඉතින් ඒ නිසා මෙහිදී මොහු අත් අඩංගුවට ගැනීමට හේතුව ගැන කියන්න අපට දවසක් දෙකක් අවශ්‍යයයි. ඉදිරියේ දී අපි මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. අපි සම්පූර්ණ අනාවරණයක් කරන්නම්.
මේ ගත්ත පුද්ගලයා අපේ අත් අඩංගුවෙ ඉන්නවා. ඔහුට රැඳවුම් නියෝග ලබා ගන්නවා. ගත්ත හේතුවට වඩා අපි බලන්න ඕන ඉදිරි විමර්ශන කළ යුත්තේ කෙසේද කියන දේ.
මාධ්‍යය – පසුගිය කාලේ විමර්ශන සිද්ධ වුනානෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධව. අපරාධකාර පුද්ගලයින්ට අධි චෝදනා පවරලා නඩු යනවානේ. එතනින් එහාට වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, ඒ අවස්ථාවේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයාට මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් වන්දි ගෙවන්න නියම වුනා. එතනිනුත් එහාට වෙන දේ තමයි මේ මහ මොළකාරයා අල්ලනවා කියන දේ. අද අත් අඩංගුවට ගත් සැකකරුගේ නමත් ඔය කියන මහ මොලකාරයා කියන කතාව ඇතුළෙ කියවුනා. මේ වෙද්දි පොලිසිය අත් අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ද?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – මේ සිදුකරන්නේ විමර්ශනයක් . විමර්ශනයකට ඕනෑම පුරවැසියෙක් අත් අඩංගුවට ගැනීම තවත් එක් අත් අඩංගුවට ගැනීමක් පමණයි. ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් මත වැඩිදුර විමර්ශනවලදි තීරණය කෙරෙයි ඔහුද මහ මොළ කරු තවත් කෙනෙක් ඔහුට ඉදිරියෙන් ඉන්නවද කියලා. මේ අවස්ථාවේදී ඔබ තේරුම් ගන්න ඕන කාරනාවක් තියනවා. මමත් පොලිස් නිලධාරියෙක්. අපට කියන්න බෑ අත් අඩංගුවට අරන් පැය කීපයක් ඇතුළත ඔහුද මහ මොළකරු කියලා.
ඔහු මේ ක්‍රියාවලියට සම්බන්ධයි කියන සාක්ෂි තියන බව ඇත්ත. නමුත් ඉදිරියේ දී ඔහුගෙන් ප්‍රශ්න කරලා ඒ අනුව ගොඩනැගෙන ඉදිරි විමර්ශනවලදි තමයි ඒක තිරණය කරන්න වෙන්නේ.
මාධ්‍යය – ඔබතුමත් මමත් දන්න විදිහට විමර්ශනයක් වෙලා එතනින් පස්සේ තමයි අත් අඩංගුවට ගැනීමක් කරන්නේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – පිළිගන්නවා.
මාධ්‍යය – එතනින් එහාට විමර්ශනය කරන්නේ මේ මොහොතේ අනාවරණය වෙලා තියන කරුණු අනුවනේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – ඔහුගෙන් ප්‍රශ්න කරන්න සූදානම් වෙන්නේ අත් අඩංගුවෙන් පස්සේනේ… තව ප්‍රශ්න කරලා නෑ.
මාධ්‍ය – මීට කලින් ඔය කියන සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වලා ප්‍රකාශ සටහන් කරගැනීමක් කළා ද?.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – මීට කලින් ප්‍රකාශ සටහන් කරගැනීමක් සම්බන්ධව වාර්තා වෙලා නෑ
මාධ්‍ය – ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයා. අඩුම ගානේ අපට කියන්න පුලුවන් ද මේ ටිකවත්. රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ ලෙස ගෝඨාභයගේ රජය යටතේ ඔහුව පත් කළා. සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ වාර්තාව ගන්න ඔහු තමයි ගියෙ. මේ අත් අඩංගුවට ගැනිම කළේ පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද. එහෙම නැතිනම් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාක්ෂි විනාශ කිරීමට සම්බන්ධ වීම නිසාද?. අඩුම තරමින් ඒකවත් කියන්න පුලුවන් ද?.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – මම හිතන්නේ අපි විමර්ශන නිලධාරීන් වශයෙන් ඒ අයට ඒ සම්බන්ධව කරුණු අනාවරණය කරගන්න අවස්ථාවක් දෙන්න ඕන. මේ මාධ්‍ය සාකච්ඡාවේ මුඛ්‍ය පරමාර්ථය ඔහු අත් අඩංගුව ගැනීමට හේතුව කියනවට වඩා නීත්‍යානුකූලව ඔහු අත් අඩංගුවට ගත්තා කියන නිල නිවේදනය නිකුත් කිරීමයි. විමර්ශන ප්‍රගතිය කියන්න වෙන්නේ විමර්ශන නිලධාරීන් සමග සාකච්ඡා කළාට පස්සේ.
මාධ්‍ය – ඇයි මේක මේ විදිහට වාඛ්‍ය දෙකක් කියලා නැවත්වන්නේ. පොලිසියට විරුද්ධව අනෙක් පැත්තෙන් විශාල කැම්පේන් එකක් යනවා. මේ තත්ත්වය තුළ සුරේෂ් සලෙයි අත් අඩංගුවට ගත්ත පසුබිමවත් එහෙම අත් අඩංගුවට ගත්තේ ඇයි කියලවත් සරල හේතුව ඔබතුමන්ලාට හරියට පැහැදිලි කරන්න බැරි ඇයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත – පොලිසිය විරුද්ධව කැම්පේන් එකක් යන්න හේතුවක් නම් මට පේන්නේ නෑ. කැම්පේන් එකක් යනවා නම් ඒ යන්න වෙන්නේ අත් අඩංගුවට ගත්තේ නැතිනම්.
පොලිසිය පොලිසියේ කාර්ය කරලා තියනවා. දවසක් දෙකක් ඉවසීමෙන් ඉන්න. විමර්ශනවලට සහයෝගය දෙන්න. ඔබ පැහැදිලිවම දන්නවා අපි කවුරුත් සීඅයිඩී නිලධාරීන් නෙමෙයි. අත් අඩංගුවට ගත්තේ අද උදේ. අපි බලාපොරොත්තු වුනේ මේ සාකච්ඡාවෙන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධව නිල වශයෙන් නිවේදනය කරන්න.
මාධ්‍යය – ඔබතුමා කියනවා නිල නිවේදනයක් කියලා. අපි නිල නිවේදනය කියන තැන ඉඳලා විතරක් කතාකරමුකො. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන එක ගැන සැකය මත පමණක් අපි දන්නවා ලංකාවෙ නිතිය අනුව අත් අඩංගුවට ගන්න බෑ. මොකක්ද නිල චෝදනාව ඔහුව අත් අඩංගුවට ගන්න. නීතියට අනුව මේ සැකකරු අත් අඩංගුවට ගන්න චෝදනාව කුමක් ද?
(මෙතැන් සිට ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේ නීති කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න විසිනි)
නීති කොට්ඨාසය භාරර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න – නීතිය අනුව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතුව අදාල පාර්ශවයන්ට දැනුම් දීල තියනවා. නීත්‍යානුකූලව අත් අඩංගුවට පත්වන තැනැත්තාට ඇයි අත් අඩංගුවට පත් වෙන්නෙ සහ අත් අඩංගුවට පත්වෙන්න හේතු මොනවද කියන එක දැනුම් දීලා තියනවා.
ඊලගට අත් අඩංගුවට පත්වීම සම්බන්ධව කරන නඩුකරයක දී තමයි අපි චෝදනා ඉදිරිපත් කරන්න ඕන. අපට තියන කාර්ය තමයි මේ අත් අඩංගුවට පත්වීම සහ නඩු පැවරීම දක්වා කාලය තුළ තමයි චෝදනා ඉදිරිපත් කරන්න පුලුවන් මොනවටද කියලා විමර්ශනය කරන්නේ. ඒ විමර්ශන ප්‍රතිඵල අනුව තමයි චෝදනා තීරණය වෙන්නේ.
ඒ නිසා අත් අඩංගුවට ගන්න අවස්ථාවෙදිම අපට කියන්න බෑ නඩු පැවරීමක් සඳහා තියන චෝදනා මොනද කියලා.
ඇතැම් අවස්ථාවලදි අපි දන්නවා පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්තට පස්සේ ඒ කරන විමර්ශනවලදි ඒ අයගේ සම්බන්ධතා අනාවරණය වෙද්දි චෝදනා වෙනස් වෙනවා. කවුරුහරි නීත්‍යානුකූලව අත් අඩංගුවට ගනිද්දි සමහර වෙලාවට නඩු පවරන්නේ නැතිව මුදා හරිනවා. ඒකට ප්‍රතිපාදන තියනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 වගන්තිය යටතේ.
අත් අඩංගුවට ගත්ත පුද්ගලයාට නඩු පවරන්නේ නැතිනම් මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු මුදා හැරිය යුතුයි. නඩු පවරන්න චෝදනා ඉදිරිපත් කරන්න කරුණු තියනවා නම් තමයි නඩු පවරන්න ඕන. නඩුවක් පැවරුවාම තමයි අධිකරණය විසින් චෝදනාවක් ඉදිරිපත් කරන්නේ.
මම හිතනවා මේ වෙලාවෙදි චෝදනා පිළිබඳ ගැන කතා කිරිම අවශ්‍යතාවයක් නෙමෙයි. අත් අඩංගුවට ගැනීම සඳහා සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වූ ප්‍රමාණවත් කරුණු මත තමයි අත්අඩංගුවට ගැනීම සිද්ද වෙලා තියෙන්නේ.
දැනට මේ විමර්ශන කරගෙන යනවා. ඒ සඳහා ප්රමණෙ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තාවකාලික විධි විධාන යටතේ තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ. අප දන්නවා නීතිය අනුව එවැනි අත් අඩංගුවට ගැනිමක් කළොත් දින තුනක කාලයක් රඳවා තබා ගැනීමට පුලුවන්. පොලිස් අධිකාරිවරයෙකුගේ නියමක් යටතේ තමයි අත් අඩංගුවට ගැනීම කෙරෙන්නේ.
ඒ කාලය ඇතුළේ දී එළඹෙන සාක්ෂි මත තව දුරටත් විමර්ශන කරගෙන යන්න රඳවා ගැනීම අවශ්‍ය නම් ඒ සම්බන්ධව අපි නීතියෙ සඳහන් විධි විධාන අනුව රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගන්න කටයුතු කරනවා.
ඒක තීරණය වෙන්නේ මේ දින තුන ඇතුළත සිදුකරන විමර්ශනවලින් මතුවන සාක්ෂි මත. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තියනවා. ඉදිරියේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ ජනතාව විසින් දැනගත යුතු තොරතුරු නිවේදනය කරාවි.
දැනට අත් අඩංගුවට ගැනීම තමයි අපට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන්න අපට තොරතුරු ලබා දීලා තියෙන්නේ.
ඉදිරියේ දී මේ විමර්ශන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම මාධ්‍ය වෙත දැනුම් දෙනවා. මේක රහසිගත කාරනාවක් නෙමෙයි. සියලුම කාරණා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. අධිකරණයට වාර්තා කරන්න ඕන.
නීතියේ තියන විධි විධාන යටතේ ඒ කටයුතු සිද්ධ වෙනවා.
මාධ්‍ය – ඔබතුමාලා කියන විදිහට සිඅයිඩී එකෙන් ඇතැම් තොරතුරු පහළට දෙන්නෙ නැති බවද?
නීති කොට්ඨාසය භාරර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න – නෑ.. එවැනි අදහසක් එන්නේ නෑ. සීඅයිඩි එක මාධ්‍ය කොට්ඨාසය වෙත ලබා දෙන්න පුලුවන් තොරතුරු ලබා දීලා තියනවා. ඒක නිසා තමයි මාධ්‍ය කොට්ඨාසය විසින් මේ සාකච්ඡාව කැඳවලා තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. දැනගත යුතු සහ විමර්ශනයට බාධාවක් නොවන සියලු තොරතුරු අනාගතයේ දී ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.







