අසේල කුරුළුවංශ –
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට පලතුරු වෙළඳාමේ නිරත වූවන්ට කුසපත් ඇදීම මත පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට කොටසේ වෙළෙඳාම් කටයුතු කරගෙන යෑම සඳහා මහනුවර මහ නගර සභාව විසින් ලබාදී තිබූ ස්ථානයේ වෙළෙඳාම් කිරීම වෙළෙඳුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
පසුගිය 01 වැනිදා සිට මහනුවර නගරයේ වීදි වෙළෙඳාම තහනම් කිරීමට මහ නගර සභාව පියවර ගැනීමත් සමඟ තම දෛනික ආදායම් නොමැති වූ වීදි වෙළෙඳුන් විකල්ප ස්ථානයක් ඉල්ලා නගර සභාවට ලිපි කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණි.
එම ඉල්ලීමකට අනුව නගරාධිපතිවරයා විසින් කුසපත් ඇදීමක් මගින් පලතුරු වෙළෙඳුන් 19 දෙනෙකුට බෝගම්බරින් ස්ථාන ලබා දුන්නද දින කීපයක් එහි ව්‍යාපාර කටයුතු කළ වෙළෙන්දුන් එම ස්ථානයෙන්ද ඉවත්ව ගොස් ඇත.
විකල්ප ස්ථානයේ භූමි කොටස් ලබා දීමේදී වෙළෙඳුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බැවින් ඒ සාධාරණයක් කරන ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා අදාළ ස්ථානයෙන් ඉවත් වූ බව වෙළෙන්දෝ පවසති.
කුසපත් ඇදීම මගින් වෙළෙඳුන් 19 දෙනෙකුට පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපට කොටසේ ස්ථාන ලබාදුන් බවත් ඒවා ලබාගත් වෙළෙඳුන් බිම් කොටස් ලබාදුන් ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව පවසමින් වෙනත් ක්‍රමවේදයක් හරහා ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක කීය.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
මෙම පලතුරු වෙළෙදුන්ගෙන් කසළ බද්දක් අය කිරීමට නගර සභාව පියවර ගන්නා බවත් මාස දෙකක සහන කාලයකින් පසු අදාළ මුදල් අය කිරීම ආරම්භ කරන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.







