දැනට අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම ආයනයේ අධ්යක්ෂ ජනාරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේ ද සහාය ලබා ගන්නා බවය.
2004 දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවක ඒ පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පිහිටුවනු ලැබිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ක්‍රියාත්මක කරන ක්‍රම දෙකක් තිබුණු බවත් එක් ක්‍රමයක් VHF සංඥා මගින් ක්‍රියාත්මක වූ අතර අනෙක් ක්‍රමය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා දෙන සංඥා මගින් ක්‍රියාත්මක වූ බවය.
මෙම සංඥා මගින් එක්වර කුලුනු 77ම එක් වර ක්‍රියාත්මක කිරීම සිදුවූ බව පෙන්වා දෙන අධ්යක්ෂ ජනරාල්වරයා මෙම සන්නිවේදන ක්‍රමවේද දෙකම අක්‍රීය වීම හේතුවෙන් මෙම කුලුනු ක්‍රියා විරහිත තත්ත්වයේ පවතින බව පෙන්වා දුන්නේය.
දැනට මෙම කුලුනු සක්‍රීය කිරීම සඳහා VHF පද්ධතිය සක්‍රීය කිරීම සඳහා දේශීය විද්වතුන් සමග එක් වී කටයුතු කරන බවත් සමස්ථ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු සමාගමකින් ආධාර ඉල්ලා ඇති බවත්ය.
ඉදිරියේ දී රජයන් දෙක අතර පැවැත්වෙන ද්වී පාර්ශවික සාකච්ඡාවක් මගින් මෙම කුලුනු ප්‍රතිස්ථාපනය කිරීම සදහා ඉන්දියානු සමාගමේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.







