ජානක ලියනආරච්චි –
-
සනත් මාමෙ… ඔය පුතාලට ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලමක් නොවන බව කියා දෙන්න…
මේ වනවිට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සහ ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන විස්සයි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පකිස්ථානය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අනතුරුව අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) සහතික වූයේය.
එරට ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇති අතර එම තත්වය තුළ එරට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිලිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය සමග පෞද්ගලිකවම කතා කළ ජනාධිපතිවරයා තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබේ.
ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා පාක්ස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත. ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර තිබේ.
මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් තරගාවලිය අත්හැර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරමින් ඇති වටපිටාවකය. ඉතිහාසයේ ජාතියක් ලෙස අසරණ වූ අවස්ථාවල හිස එසවීම සඳහා ක්‍රීඩාවෙන් සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමට පකිස්ථානයට කෘත ගුණ සැලකීම සඳහා මෙම තරගාවලිය අවසන් වන තෙක් එරට රැදී සිටින ලෙස ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දී තිබේ.
අතීත කතාව…
පුරා තිස් වසරක් තිස්සේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය සමග රට අභ්‍යන්තරයේ බලගතු යුද්ධයක් පැවති වකවානුවක් පසු කර පැමිණි ඉතිහාසය අද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන එකම තරුණයෙකුටවත් අත් දැකීමක් නොමැති පසුබිමක සහ රටක ජාතික කණ්ඩායමක් යනු එම රටේ තානාපති නියෝජනයක් යන වගකීම් සහගත අදහස නැති විට මෙවැනි තත්ත්ව නිර්මාණය විය හැකි බව මැදහත් විචාරකයෝ මේ වනවිට පෙන්වා දෙමින් සිටිති.

1996 ලෝක ශූරයන් වූ ජාතියට ඒ වකාවනුවේ බරපල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීමක් ඇත. 1996 ලෝක කුසාලන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සමග ශ්‍රී ලංකාව දැරුවේය. 1996 වසරේ ජනවාරි මස 31 වැනිදා මහ බැංකු බෝම්බය පිපිරුවේය.
මෙම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් 91 දෙනෙක් මිය ගියහ. තවත් 1,400 කට තුවාල සිදුවිය. මීට අමතරව ප්‍රහාරයේ බලපෑම නිසා 100 කට තරම් පිරිසකගේ දෘෂ්‍ය පෙනීමට හානි සිදුවිය.
තුවාල ලැබූ පිරිස අතර අමෙරිකානුවන් දෙදෙනෙක්, ජපන් ජාතිකයන් සය දෙනෙක් සහ, ලන්දේසි ජාතිකයෙක්ද වූහ. ප්‍රහාරයෙන් විපතට ලක්වූ බොහෝ දෙනෙකු බැංකුව අසල සිටි සාමාන්‍ය ජනතාව විය. මේ දැවැන්ත ප්‍රහාරයෙන් ලෝකය කම්පනයට පත් විය. ශ්‍රි ලංකාව මරණයේ භූමියක් බවට වූ අදහසක් ප්‍රේෂණය වූයේය.
මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිය තරගවලට සහභාගී වීමට ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ප්‍රතික්ෂේප කළහ. තරග දෙකේ ලකුණු ශ්‍රී ලංකාවට හිමි වුව ද සංචාරක කර්මාන්තය ඇතුළු ජාත්‍යාන්තර මානව සම්බන්ධතා සඳහා ඉන් ඇති කළ සන්නිවේදනය බරපතල වූයේය.
මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉන්දියානු කණ්ඩායමක් පැමිණියේය. කෙන්යා කණ්ඩායම පැමිණියේය. අතිශය කැපී පෙනෙන වැදගත්ම අවස්ථාව වූයේ පකිස්ථාන ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට කළ සංචාරය ය. ඒ තරගාවලිය දැවැන්ත ව්‍යසනයක් අවස්ථාවේදී සිදුවුන අතිශය ගැඹුරු මානව බැඳීමක අභ්‍යන්තරය කීවේය.
අට දෙනෙකුට මරු කැඳවමින් ස්ලාමාබාද් බෝම්බය පුපුරණ විට තරගාවලිය අත්හැර එන්නට හදන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අපට කියන්නට ඇත්තේ ඉතිහාසය සනත් ජයසූරියගෙන් අසා ගන්නා ලෙසය. 1996 ලෝක කුසාලනය දිනා ගත්තේ අපය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සනත්ය. ඒ ලෝක කුසලානයට යන ගමනේ දි අපට මහා ශක්තියක් වූයේ පකිස්ථානය ය. පකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වූ තරගයේ දී මුළු පකිස්ථානයම ශ්‍රි ලංකා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් ඔල්වරසන් දුන් මොහොත ද සනත් ජයසූරියගෙන් අසා දැන ගත හැකිය.
දුක හිතෙන්නේ සල්ලි දෙනවා නම් ටී 10, ටී 20 ලීග ක්‍රිඩා කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාබූල් නුවරට උනත් යන්නට සූදානම් අපේ උන් ස්ලාමාබාද්හි බෝම්බයක් පුපුරන විට හෙට සහ 15 වැනිදා පැවැත්වෙන තරගාවලිය අත් හැර එන්නට හදන ආකාරය ගැනය.
එක්දින තරගාවලිය නිමා වී විස්සයි 20 ක්‍රීඩා තරග ආරම්භ වූ විට 19 වැනිදායින් පසු ලාහෝර් නුවර රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන්නේ නැත. ඉතිරි තරග සියල්ල පැවැත්වෙන්නේ ස්ලාමාබාද්හි සිට කිලෝ මීටර 340ක් එපිටින් ඇති ලාහෝර්හි ය.
සනත් අයියාට කියන්නට ඇත්තේ මේ පුතාලාට ක්‍රිකට් ක්‍රීඩාව යනු සෙල්ලමක් නොවන බව කියා දෙන ලෙසය.







