ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මෑතකාලීනව සිදු වූ රුපියල් ලක්ෂ 300 ඉක්ම වූ මුදල් වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර ඇති විමර්ශනය වත්මන් රජය විසින් එම සංස්ථාවට පත් කර එවා ඇති එම සංස්ථාවේ සභාපතිනිය සිය බලය අත්තනෝමතිකව යොදා ගනිමින් සිදුකරන බලපෑම් මත අතරමග නැවතී ඇතැයි ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
පරිගණක දත්ත පද්ධතිය වෙත අනවසරෙන් ඇතුල් වී එහි දත්ත වෙනස් කොට එකම වවුචරයට චෙක්පත් දෙක බැගින් නිකුත් කරමින් චෙක්පත් 13 කින් සිදු කරන ලද මෙම සොරකම සම්බන්ධයෙන් අවස්ථා කීපයක දීම පාර්ලිමේන්තුවේ දී ද ප්‍රශ්න කර තිබිණි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය 01 යටතේ සිදුවනක මෙම විමර්ශනයේ දී මුල් අවස්ථාවේ හෙළි වන්නේ වංචාව රුපියල් ලක්ෂ 270 ක් බවය. එහෙත් මේ විට එය රුපියල් ලක්ෂ 300 ඉක්මවා සිදුව ඇති බවට තොරතුරු හෙලි දරව් කර ගෙන තිබේ.
විශේෂත්වය වන්නේ මෙම අපරාධය සම්බන්ධව මෙම අනීතික මුදල් බැරවීම් සිදුවූ බවට හඳුනාගත් ගිනුම් හිමි අදාල විෂය භාර නිලධාරියාත් ඔහුගේ බිරිය සහ නැගනියත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම මූල්‍ය වංචාව පසුපස ආයතනයේ මූල්‍ය කළමනාකාරවරයාත්, සාමාන්‍යාධිකාරීවරයාත්, කළමණාකාර අධ්‍යක්ෂකවරයාත් සිටින බව අනාවරණය වී තිබීමය. වංචා කළ ලක්ෂ 300ක මුදලින් තමන් වෙත ලැබුණේ සියයට 25ක් පමණක් බව ගිනුම් හිමි නිලධාරියා විසින් සිදුකළ පාපොච්චාරණය අනුව ඉතිරි ලක්ෂ 225 මෙම නිලධාරීන් තිදෙනා අතර බෙදී යන්නට ඇතැයි විමර්ශන අංශ වෙත සැක පහළ වී තිබිණි.
මෙම නීති විරෝධී චෙක්පත් සෑම එකකම අත්සන් දෙකක් තිබී ඇති අතර එක් අත්සනක් මූල්‍ය කළමනාකාරවරයාගෙ බවත් අනෙක් අත්සන් සාමාන්‍යාධිකාරීවරයාගේ සහ කළමනාකාර අධ්යක්ෂවරයාගේ බවත් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කොට නිශ්චිත තහවුරු කිරීම් සිදු කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති නමුත් මෙම නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමක් සිදුකර නැතිවීම පුදුම සහගත තත්ත්වයක් බව එම සංස්ථා ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ නීතිය සැමට එක යැයි කීවත් තවමත් ඇතැම් තැන්වල නීතිය බරපතල ලෙස නැවී වංගු ගසන ආකාරය සම්බන්ධව මේ සිදුවීම සාධක සපයන බවය.
වංචාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් සාක්ෂි සහිතව කරුණු සනාථ වී තිබියදීත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ සංස්ථා සභාපතිනීයගේ ඉහළ පෙළේ සම්බන්ධතා හේතුවෙන් බවත් ඇය මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්ව සිටි බැවින් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් ගෙන යනු ලබන විමර්ශනය ද ඇයගේ මැදිහත්වීම මත අඩාල වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.







