එක්දින තරගාවලිය හමාරය. තරගාවලිය දිනුම්ය. අවසන් තරගය ලකුණු 99කින් දිනුම්ය. අද (08) පල්ලෙකැලේ සැනකෙළියකි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩළු 07කට ලබා ගත් ලකුණු 285ක ඉලක්කය හඹා ගිය බංගලාදේශ කණ්ඩායම ඕවර 39.4ක දී ලකුණු 186කට සියල්ලෝ දැවී ගියහ.

කණ්ඩායමේ දෙවැනි පුහුණුකරු තිලිණ කණ්ඩම්බි ඊයේ මෙසේ කීවේය. “අපේ කණ්ඩායම හරි විදිහට කළොත් ඒ ගොල්ලන්ට අපිට කිට්ටු වෙන්නවත් බෑ,…” කිව්වා විදිහටම අප හරි විදිහට කළේය. බංගලියන්ට අපට කිට්ටු වෙන්නටවත් බැරි විය.
කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. චරිත් පිතිකරණය තේරුවේය. පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී ගියේය. ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක එක ලකුණකි. එහෙත් කුසල් මෙන්ඩිස් නායක චරිත් අසලංක මෙන්ම පැතුම් නිශ්ශංකත් මනරම් පිතිකරණයක නිරත වූහ. කුසල් සිය 5 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඔහු පන්දු114ක දී ලකුණු 124ක් ලැබුවේය. ඊට හතරේ පහර 18කි. නායක චරිත් අසලංක පන්දු 68ක දී ලකුණු 58කි. ඊට හතරේ පහර 09කි. තරගය ශ්‍රී ලංකාව දෙසට ඔසවා තැබූ ලකුණු 124ක සම්බන්ධතාවයක් චරිත් සහ කුසල් අතර ඇති විය. 3 වැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව 100 තිබිය දී දැවී ගියේය. සිව්වන කඩුල්ල ලෙස චරිත් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 224කි.

පැතුම් නිශ්ශංක පන්දු 47ක දී ලකුණු 35කි. හතරේ පහර 4කි. වනිඳු අවසානය තෙක් රැඳී සිටිමින් පන්දු 14ක දී ලකුණු 18ක් ලැබුවේය. අවසාන මෙහොතේ ලකුණු 285ක උස තැනක තබන්නට වනිඳුගේ ප්‍රහාරයත් දායක විය. බංගලාදේශය වෙනුවෙන් ටස්කින් අහම්ඩ් ලකුණු 51කට කඩුළු 2ක්, මේදි හසන් මිරාස් ලකුණු 48ට කඩුළු 2ක් ද, ටන්සිම් හසන් සකිබ්, ටන්විර් ඉස්ලාම්, ෂමිම් හොසෙන් කඩුල්ල බැගින් ද ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනාවන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු හමුවේ නිරුත්තරවනු දුටුවෙමු. බංගාදේශ කණ්ඩායමේ සාර්ථක වුන එකම පිතිකරුවා ටොවිඩ් හ්රිඩෝයි පමණි. ඔහු ලකුණු 51 ලැබුවේය. නමුත් ඊට පන්දු 78ක් වැය කළේය. හතරේ පහර 3කි. එක් 06 පහරකි. නජ්මුල් හොසෙන් සැන්ටො ලකුනු ලැබුවේ නැත. ටන්සිඩ් හසන් ලකුණු 17කි. මෙහිඩි හසන් මිරාස් ලකුණු 28කි. ප්‍රවේස් හොස්සයින් ඉමෝන් ලකුණු 28කි. ජකීර් අලි ලකුණු 27කි.
පන්දු ඕව 39.4ක් තුළ සියල්ලෝම ලකුණු 186කට දැවී ගියහ.
පන්දු යැවීමේ දී හසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුළු 3 බැගින් ලබා ගත්හ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ට කඩුළු 2කි. වනිඳු හසරංග ලකුණු 35ට කඩුළු 2කි.
තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය. තරගාවලියේ වීරයාත් කුසල් මෙන්ඩිස්ය.
තරගාවලිය ජයගත්තේය. ඒ ජයග්‍රහණය සැබෑ නමුත් මේ තරගාවලිය නිමා වන්නේ අප ලෝක එක් දින තරග ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් පහළට ඇද වැටීමෙනි. බංගලියන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමෙනි. අප සිටියේ 4 වැනි තැනය. දැන් 05 වැනි තැනය. බංගලියන් හිටියේ 10 වැනි තැනය. දැන් ඔවුන් 09 වැනි තැනය. මේ තරගාවලියේ අපට වුන බරපතලම අවුල දෙවැනි එක්දින තරගය පරාද වීමය. එය ලෝක මට්ටමෙන් අපට බලපෑවේය. ක්‍රිකට් එහෙමය.







