කීර්ති ප්‍රනාන්දු –
කොළඹ අග රදගුරු අති පූජ්‍ය මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (24) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූහ.

උන්වහන්සේ ඊයේ (23) උදෑසන 9.30ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් වතිකානුව බලා පිටත්වී ගියහ.
ශුද්ධෝත්තම පාප් වහන්සේ ගේ ශ්‍රි දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන්නේ සෙනසුරාදා (26) දිනයේ දීය. උන්වහන්සේගේ දේහය භූමිදාන කළ පසු ඊලඟ පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ලෝකයේ ඉන්නා කාදිනල්වරු සියලු දෙනාම වතිකානුවේ සිස්ටන් චැපල් දේවස්ථානයට රැස් වෙති. අනතුරුව කාදිනල්වරුන් විසින් සිදුකරන විශේෂ යාඥාවකි.
සිස්ටන් චැපල් දේවස්ථානය යනු පාප්තුමාගේම දේවස්ථානයයි. සිස්ටයින් දේවස්ථානය පාප්වහන්සේගේ උත්සව පැවැත්වෙන ස්ථානයය. පාප් තනතුර සඳහා පුරප්පාඩුවක් ඇති විට නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට පූජනීය කාර්දිනල් විද්‍යාලය විසින් මෙම දේවස්ථානය භාවිතා කරනු ලැබේ.
යාඥා කිරීමෙන් අනතුරුව තුනෙන් දෙකක ඡන්දයක් සහිතව පාප්වරයෙක් පත් කරගැනීම සදහා ඡන්දය පවත්වති. ලෝකයේ කාදිනල්වරුන් 252කි. වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 135ක් වෙති. පාප්වරයෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්දයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබන්නේ එම කාදිනල්වරුන් 135 දෙනාය. ඒ අතර මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ද වෙති. එතුමන් පාප් තුමාගේ අවසන් කටයුතු සිදුවූ පසු පාප්වරයෙක් තෝරා ගැනීමේ නිලවරණයට එක් වීම සඳහා සිස්ටන් චැපල් දේවස්ථානයට යෑමට නියමිතය.
පාප්වහන්සේ ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු කරන අවස්ථාව ආවරණය වන පරිදි ලංකාවේ සියලුම දේවස්ථානවල විශේෂ අනුස්මරණ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙය සහ දිව්‍ය පූජාව ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් විසින් සහ ශ්‍රි ලංකාවේ රදගුරු තුමන්ලාගේ සහභාගිත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී 26 වන සෙනසුරාදා සවස 6 ට පැවැත්වේ.








