ශ්‍රීමතී විජේරත්න –
-
උදාවන අවුරුද්ද කියන තරම් යහපත් ද?… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ ලක්ෂ 04ක් නිදැල්ලේ…
අප නව අවුරුදු උදාව අභියසය. ගොඩගැසුන ප්‍රාර්ථනා රැසකි. එහෙත් අප ජීවත්විය යුතු වන්නේ විවර කරගත් දෑස් සහිතවය.
මෙරට මත්ද්‍රව්‍ය සඳහා පාසල් සිසුන් සීග්‍රයෙන් ඇබ්බැහිවෙමින් යන කරුණ කාටත් නොරහසකි. අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලෙන කා හට වුවද මේ පිළිබඳ ඕනෑ තරම් අත්දැකීම් තියෙන්නට පුළුවන. මත්ද්‍රව්‍ය ආශ්රිත වැරැදි සඳහා අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 2019 වර්ෂයේ 89321ක් වන විට 2023 වර්ෂයේ එය 162088 ක් දක්වා වර්ධනය වී ඇත.මේ තත්ත්වය 2030 වන විට සියයට 43කින් ඉහල යනු ඇතෙයි අපේක්ෂා කෙරේ. එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බව අපි අවබෝධ කරගත යුතු වෙමු. මිලියන 22ක් වූ ලාංකික ජනගහනය සබුද්ධිකව ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇත .මේ ව්‍යසනය ලේසි පහසු එකක් නොවේ.

දැනට ගණන් බලා ඇති පරිදි අද වන විට ලංකාව තුළ ලක්ෂ පහක පමණ පුද්ගලයින් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත යුතු මට්ටමේ සිටිති. නමුත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව පුනරුත්ථාපනය ලබන පිරිස මෙසේය.
- 2020 වර්ෂය – 1649.
2021වර්ෂය – 1703
2022 වර්ෂය – 1996.
2023 වර්ෂය – 2039.
මේ දත්ත වලට අනුව පුනරුත්ථාපනය විය යුතු වුවත් එසේ නොවී සමාජයේ සැරි සරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්නය.එය සමාජයට බරපතල හානිදායක තත්ත්වයක් උදාවන බව පෙන්වන දත්තයකි.ඔවුන් නිදැල්ලේ සමාජය තුළ සැරි සැරීම එම තත්ත්වය තවදුරටත් ඉහළ යාමට සාධකයක් වනු නොඅනුමානය.
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම නිසා දැනට ප්‍රතිකාර ලබමින් පසුවන්නන්ගේ අධ්‍යාපන මට්ටම මෙසේය.
- පාසල් නොගිය – 25
5 ශ්‍රේණියට අඩු. – 37
5-8 ශ්ර්ර්ණි දක්වා – 164
10 ශ්‍රේණිය දක්වා- 462.
සා.පෙළ. දක්වා- 943.
උ. පෙළ දක්වා – 333
වි. විද්‍යාල මට්ටම- 44.
වෘත්තිකයින්- 7.
අධ්‍යාපන මට්ටම වාර්තා නොවූ අය- 44.
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත වලට අනුව මත්ද්‍රව්‍ය නිසා බන්ධනාගාරගත වූවන්ගේ වයස් ප්‍රමාණ මෙසේය.
- අවු: 17- 22= 1757 .
අවු. 23-30= 8491.
අවු: 31- 40= 8941.
අවු. 41- 50= 6046.
අවු: 50ට වැඩි= 3952.
මේ දත්ත සියල්ල පරීක්ෂා කර බැලූ විට අපට පෙනී යන්නේ පාසැල් යන දරුවන් සැලකිය යුතු ප්‍රතිශතයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවය. අපේ රටේ අනාගතය වල් වැදී ඇති බවය. එය ඉතා දරුණු ඛේදවාචකයකි.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීමට අප රට තුළ විවිධ වැඩසටහන් විවිධ අයුරින් ක්‍රියාත්මක වන බව නොරහසකි. නමුත් කොටසක් එයින් මුදවා ගෙනෙද්දී ඒ හා දෙගුණයක් එයට ඇබ්බැහි වන බවද නොරහසකි. ඒ ඇබ්බැහි වීම වළක්වා ගැනීමට ඔබ මා ඇතුළු මේ මුළු මහත් සමාජයක් ඇස් ඇරගත යුතුය.
වර්තමානයේ බහුල වශයෙන් පාසල් දරුවන් අගතියට පත්වන කාරණා තුනකි. ඒ තාක්ෂණය ලිංගිකත්වය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යන කාරණාය. මේ කාරණා සියල්ල එකිනෙක හා බැඳී ඇති ඒවාය. දරුවන් මේ කාරණා ත්‍රිත්වයෙන්ම අගතියට පත්විය හැකිය.
බොහෝ පාසල්වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන් හඳුනාගත් පසු ඔවුන් වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැනද දැනුවත් කළ යුතුය.
දරුවන් කටයුතු කරන්නේ ඔවුන් ජීවත් වන සමාජයෙන් පවුල් පසුබිමෙන් ලබා ගන්නා අත්දැකීම් මතය. ඔවුන්ගේ සමාජානු යෝජනයේ තරම මතය.
දරුවන් හොඳ හෝ නරක වන්නේ වැඩිහිටියන් ක්‍රියා කරන පදනම මතය. දරුවන් යනු අඳුරේ අතපත ගාන ගාණවුන්ය. ඒ දරුවන් වෙනුවෙන් පහන් පත්තු කළ යුත්තේ වැඩිහිටි අපය. එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා වෙනුවට මේ දරුවන් වෙනුවෙන් තම තමන්ට කළ හැකි කාර්යයන් පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් වටී.
දරුවන්ට ජීවිතයේ සතුටින් සිටීමේ මාර්ගය කියාදිය යුතුය. සතුට යනු කුමක්දැයි හඳුනාගත නොහැකිව ඔවුහු වල්මත් වී සිටිති. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවා ඒ අටයි බී එකක් ලබාගත් පසුවද සිටින්නේ අසතුටිනි. ඔවුන් පුරුදු වී සිටින්නේ නොලැබෙන දේ ගැන සිතා දුක් වීමටය.
මේ පවතින අධ්‍යාපන ක්‍රමය සමාජගත වී තිබෙන්නේ තරගකාරී ස්වරූපයකටය. නමුත් තරගකාරී බව තුළ විනයක් සහ හදවතක් තිබෙන බව දරුවන්ට අප කියා දිය යුතුය. ඒ නමය ලබා ගැනීමට ඔලු ගෙඩි පුරවනවා වෙනුවට .. ජීවිතයේ යථාර්ථය කියා දෙමින් ඔවුන්ගේ හදවත ඉස්මතු කර ගතයුතුය. එහි වාසිය මේ රටටය.
ජීවිතය යනු කෙටි ඉටිපන්දමක් නොවේ. එය දසත එළිය කරන මහා විලක්කුවකි. මේ මොහොතේදී ඔබ එය දරාගෙන ඉහළට ඔසවාගෙන සිටී නම් එය ඔබෙන් පසුව එන අනාගත පරම්පරාවට බාර දෙන තෙක් හැකිතාක් දීප්තියෙන් යුතුව දල්වාගෙන සිටිය යුතුය.
(විශේෂ ස්තූතිය අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයට.)







