මෙවර (2024) පැවැත්වීමට නියමිත අපොස ( උසස් පෙළ ) විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින නමුත් විභාගයේ සියළුම පූර්ව සූදානම්වීම් අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
කෙසේ නමුත් එම ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024.03.01 දිනැතිව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බව පැවසේ.
තවද, මෙම විභාගය පැවැත්වෙන දින වකවානු අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද ඇතුළුව සෙසු විභාග රැසක් සඳහා දින තීරණය කර ඇති අතර මෙම විභාගය කල් දැමීමට කටයුතු කළහොත් එමගින් ඉදිරි විභාග වැඩසටහන ද නැවත වරක් සම්පූර්ණ වශයෙන්ම අක්‍රමවත් වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.







