ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රසායනාගාර පරික්ෂණ සදහා රුපියල් එක්කෝටි, හැට අට ලක්ෂ, අනූ හත් දහස් තුන්සිය පනහක (16,897,350) වියදමක් දරා මිලදී ගෙන තිබු වෛද්‍ය රසායනාගාර පරික්ෂණ උපකරණ 03ක් වසර හතක පමණ කාලයක සිට කිසිදු රසායනාගාර පරික්ෂණයක් සඳහා භාවිතා නොකර නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
2017 වර්ෂයේ දි මෙම වෛද්‍ය රසායනාගාර පරික්ෂණ උපකරණ 03 මිලදි ගෙන තිබුණි. මින් රුපියල් එක්කෝටි,දාසය ලක්ෂ, දෙදහස් තුන්සිය පනහක (11,602,350) මුදලක් වැයකොට මිලදි ගෙන තිබු රසායනාගාර පරික්ෂණ උපකරණ යන්ත්‍ර 02ක් එවා මිලදිගත් දින සිටම භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අදාළ යන්ත්‍ර කඩිනමින් ප්‍රයෝජනයට ගැනිම සඳහා කටයුතු කළයුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද රෝහලේ පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ විගණනය සමග එකඟවන බවය.
මෙම උපකරණ මිලදි ගැනිමේ තිරණයේ සිට මිලදී ගැනිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය පිළිබද විමර්ශනයක් සිදුකරණ ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කරඇති බව රෝහල මගින් විගණනයට සදහන් කොට ඇත.
එසේ වුවත් විමර්ශනය කරාපිටිය රෝහල මගින් කරණ ලෙස 2024.02.22 දිනැති ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝහලට දන්වා ඇත.
හදිසි වැටලිම් අංශය මගින් හෝ ස්වාධින විමර්ශනයක් සිදුකරන ලෙස නැවත සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉල්ලා ඇති බවද රෝහල් පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට තිබේ. එම විමර්ශනයේ තිරණය අනුව අවශ්‍ය කටයුතු කරණ බවද රෝහල් පරිපාලනය මගින් විගණනයට සඳහන් කොට ඇත.
මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් මේ වනවිට සිදුකරමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග අප කළ විමසුමකදි සඳහන් කළේය.







