ලොව පුරා T10 තරගාවලි රැසක නිල අයිතිකරු වන ඉන්දීය ජාතික බිලියනපති ෂාජි උල් මල්ක් සංවිධානය කළ සිම්බාබ්වේහි පැවති සිම් ඇෆ්රෝ T10 ලීගයේ තරග පාවා දීම් සිදුව ඇති බවට අයිසීසීය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
පසුගියදා අවසන් වූ මෙම ලීගයේ ඩර්බන් වුල්ෆ් හා හරාරේ බෝල්ට්ස් තරගය අතරතුර සිදුව ඇතැයි කියන සැක කටයුතු සිදුවීම් ගැන අයිසීසියේ දූෂණ මර්ධන ඒකකය විසින් පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ.
මෙම තරගයේදී පකිස්තානු පන්දු යවන්නන් දෙදෙනකු හා එක්සත් අරාබි එමීර් පන්දු යවන්නකු විසින් යවන ලද ඕවර කිහිපයක් අදහා ගත නොහැකි අන්දමේ ඒවා වී තිබීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම තරගයේදී දෙපිලේම ශ්රී ලංකා ක්රීඩකයන් කිහිප දෙනෙකුම ක්රීඩා කර තිබෙන අතර දසුන් ශානකද ඒ අතර වේ.
මෙම ලීගයේ අයිතිකරු වන ෂාජි උල් මල්ක් යනු ලබන දෙසැම්බර් මස ලංකාවේ පවත්වනු ලබන ප්රථම T10 ලීගයේද හිමිකරු වීම විශේෂත්වයකි.
මීට වසර කිහිපයකට පෙර අබුඩාබියේ පැවති විස්සයි විස්ස තරගාවලියක් නියෝජනය කළ ආන්දෝලනයට තුඩු දුන් ශ්රී ලංකා කණ්ඩායමේද හිමි කරු වූයේද ඩුබායිහි පදිංචිව සිටින මොහුය.
එම තරගාවලියට ගිය ක්රීඩකයන්ට පොරොන්දු වූ මුදල් ගෙවා නොතිබුණු අතර ඒ මුදල්වලට වූ දෙයක් කියන්නට ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අසමත් විය.
සිම් ඇෆ්රෝ T10 ලීගයට සහභාගි වූ ශ්රී ලංකා ක්රීඩකයන්ටද ගිවිසුම් ගත මුදලින් අඩක් වත් තවමත් ගෙවා නොමැති බවත් ලංකාසරට වාර්තා වේ.







