අප පරාදය. කොදෙව්වන් ගහපු ගැහිල්ලට ලකුණු පුවරුවේ මොන ලකුණ තිබුණත් මදිය. තරගයේ ජයග්‍රහණය සම්බන්ධව තහවුරු වන අවස්ථාවේ දී ඇතිවන ලිහිල් වීම තුළ කඩුළු බිඳ වැටුනා මිසක් ඇත්තටම ඔවුන්ගේ ක්‍රිකට් විශිෂ්ටය.
සාධාරණව කියනවා නම් කණ්ඩායම් දෙකම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 179ක් ලැබූහ. ඒ ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු 5ක් තිබිය දී ලකුණු 180ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළේය.
විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල කොදෙව්වන් ඉන්නේ තුන්වැනි තැනය. අප ඉන්නේ හත්වැනි තැනය. අප මේ තරගයට එන්නේ අපට වඩා ප්‍රබල කණ්ඩායමක් යැයි ලෝකයට තහවුරු කළ කණ්ඩායමක් සමගය. නමුත් මැච් එක ගහන්නේ අපේ රටේය. අපේ තණතීරුවලය. බිඳ වැටෙමින් සිටිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වයේ රිද්මයට එන්නට මේ තරගාවලිය පාවිච්චි කිරීමේ සැලසුම තරගයට පෙර අපට තිබුණේය. දැන් ඒ සැලසුමෙන් තුනෙන් එකක් ඉවරය.

තරගය
ඊයේ (13) දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති තරගයට කාලගුණයෙන් බාධාවක් වුනේ නැත. තරගය ඇදී ගියේය. කාසියේ වාසිය දිනූ කොදෙව්වෝ පන්දු යැවීම තේරූහ.
කොදෙව් වේගපන්දු යවන්නෝ ආක්‍රමණශීලී ආරම්භයක් ලබා ගත්හ. පැතුම් නිශ්ශංක ලකුණු 11කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 19කි. කුසල් පෙරේරා ලකුණු 06කි.
මේ වනවිට ඕනෑම මාදිලියක තරගයක දී ශ්‍රි ලංකාවේ බලාපොරොත්තුව වී ඇති කමිඳු මෙන්ඩිස් ඉතා විශිෂ්ට අර්ධ ශතකයක් පන්දු 40ක් තුළ ලැබුවේය. ලකුණු 51ක් ලැබු කමිඳු ඊට වැය කළේ පන්දු 40කි. හතරේ පහර 5කි. හයේ පහර 2කි.
නායක චරිත් අසලංක පන්දු 35ක් තුළ දී හතරේ පහර 09ක් සහිතව ලකුණු 59ක් ලැබුවේය.
එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් සමග භානුක රාජපක්ෂ පන්දු 11 දී ලකුණු 17ක් ලැබුවේය. පන්දු ඕවර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 179කට සීමා විය.
කඩුළු 07ක් දැවී ගොස් තිබිණි.
එය ඉතාම හොඳ ලකුණු ප්රමාණයකි. තරගයක් දිය හැකි ලකුණු ප්රමාණයකි. එහෙත් සිදුවන්නේ අමුතුම සිද්ධියකි. බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවන්වන බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලිවිස් අපට වඩාගෙන ගැහුවේය.
කිං පන්දු 33කට ලකුණු 63කි. හතරේ පහර 11කි. එක් හයේ පහරකි. එවින් ලෙවිස් පන්දු 28ක දී ලකුණු 50කි. හතරේ පහර 5කි. හයේ පහර 4කි.
චරිත් අසලංකගේ අමුතු පන්දු යැවීමේ සැලසුම පට්ට පදුරු වී කුඩු වී ගියේය. පවර් ප්ලේ පන්දු ඕවර 6 නිමා වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් කිසිවෙක් නොදැවි ලකුණු 74කි. ඔවුන් ලකුණු 50 පසුකරන්නේ පන්දු ඕවර 4යි පන්දු 4කිනි. පන්දු ඕවර 8යි පන්දු 1ක් යවා නිම වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 100 ලබාගෙනය.
ඔවුන්ගේ ආරම්භක කඩුල්ල සඳහා වූ සම්බන්ධතාවය ලකුණු 107කි. ඒ පන්දු ඕවර 9.1ක් තුළය. එවැනි තැනකට ඔසවා තැබූ විට පන්දු ඕවර 11කින් ලකුණු 70ක් ලබා ගැනීම සරලම ඉලක්කයකි.
සමස්ථයක් ලෙස අපේ පන්දු යැවීම මෙන්ම අප හැදූ සැලසුමත් ෆේල් ය.
මහීෂ් තීක්ෂණ පසෙක තබා පවර් ප්ලේ එකට ගෙනා චරිත් ගෙන්වූ චමිදු වික්‍රමසිංහ පන්දු ඕවර 2ට ලකුණු 27ක් කෑවේය. හසිත ප්‍රනාන්දුත් අද අසාර්ථකය. අසිත පන්දු ඕවර 4 තුළ ලකුණු 37කි. කඩුළු නැත. වනිඳු හසරංග ලකුනු 38ක් ලබා දුන්නේය. එක් කඩුල්ලක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ ලකුණු 27කට කඩුළු 2ක් ලැබුවේය. කමිඳු පන්දු ඕවර 2ක් යවා කඩුල්ලක් ද ලබා ගත්තේ. ලකුණු 14ක් ලබා දුන්නේය.
තරගයේ වීරයා බ්‍රෙන්ඩන් කිං ය. ඇත්තටම ඔහු අද වීරයෙකුගේ භූමිකාවට පණ දුන්නේය. ඒ පිතිකරණය එතරම් මනරම්ය. චරිත් අසලංක තරගයෙන් පසු කීවේ පන්දු යැවීමේ දුර්වලතා නොව ඉතා හොඳ පහරවල් ඔවුන්ව මේ තැනට ඔසවා තැබූ බවය. පූර්ණ ගෞරවය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට බව චරිත් කීවේය.
දැන් අප තේරුම් ගත යුතුව තිබේ. අප හමුවට ඇවිත් තියෙන්නේ අයෝමය බාහු බලයක් සහිත නමුත් ඉතාම හික්මුණ තියුණු සටන් කරුවන් පිරිසකි. වනිඳුට කියන්නට ඇත්තේ වැඩේ හරියට නොකර කන් පාත් වෙනකම් හොඳටම ගුටි කා ගැට්ටෙන් ලබා ගත් කඩුල්ලක් වෙනුවෙන් උන් ඉදිරිපිට ළාමක කැටයම් කපා වැඩක් නැති බවය. එතකොට බලන් ඉන්න අපටත් ලැජ්ජා හිතෙන්නේය.
කෙසේ වෙතත් සැලසුම් අලුත් කරන් අලුත් විදිහටකට වැඩේ ආරම්භ කිරීමට තවම කල් තිබේ. අප ක්‍රීඩා ලෝලීන් ලෙස එතෙක් ඉවසීමෙන් යුතුව බලාසිටින බව කිව යුතුව ඇත.







