කිසිම ආශ්චර්යයක් සිදුවුනේ නැත. ශ්‍රී ලංකා කාන්තාවෝ තුන් ඉරියව්වෙන්ම ෆේල් වූහ. ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවැනි තරගයත් පරාජය. කවදාවත් පරාද කරන්නට බැරි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මේ පාරත් අප පැරදුනේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කිසිම අභියෝගයකින් තොරව කඩුළු 06කින් දිනුම්ය. තරගය නිමා වන්නේ පන්දු 34ක් යැවීමට තිබෙද්දීය.
පන්දු ඕවර 20ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 93කි. කඩුළු 07ක් දැවී ගොස් තිබිණි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 14.2 ක දී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 94 පහසුවෙන් හඹා ගියේය.

තගය පැවති සාජා තණ තිරුවේ කාසියේ වාසියේ වාසනාව තිබුණේ අපටය. මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් මුල් පන්දු ඕවර දෙකම නිලකුණු පන්දු ඕවරය. තණතීරුව මන්දගාමී විය . පන්දුව පිත්තට ඇදී එන්නේ සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් බව පෙනුනි. මේ තත්ත්වය නිසි පරිදි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියෝ කළමනාකරණය කළහ. ඔවුන් ලෝකයේ අංක එක බව අපට කියා දෙමින් සිටියහ.
පන්දු 10කට මුහුණ දෙන ආරම්භක පිතිකාරිය විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී ගියාය. පන්දු 12කට මුහුණ දෙන නායක චමරි අතපත්තු ලකුණු 03කට දැවී ගියාය. එක ලකුණ සොයාගෙන ගොස් අවස්ථාව ලැබුණු විට ලකුණු 04කට හයකට යෑමට උත්සාහ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සොයන්නට ගියේ ලොකු ලකුණුය. අපට හොඳටෝම වැරදුනේය.
පන්දු 35කට මුහණ දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ලැබුවාය. නිලක්ෂ ද සිල්වා පන්දු 40කට මුහණ දී ලකුණු 29ක් ලැබුවාය. පන්දුවකට ලකුණ බැගින් ගන්නට හැකි වූයේ අනුෂ්කා සංජීවනීට පමණි. ඇය පන්දු 15ක දී ලකුණු 16කි. ඉතිරි කිසිවෙක් ලකුණු 05ක සීමාව පැන්නුවේ නැත.
හොඳම පන්දු යැවීම මේගන් ෂට්ගෙනි. ඇය පන්දු ඕවර 4 තුළ ලබා දුන්නේ ලකුණු 12ක් පමණි. එක් නිලකුණු ඕවරයක් ඒ අතරය. ලකුණු ලබා නොදුන් පන්දු 17කි. සොෆී මොලිනෙක්ස් පන්දු ඕවර 4 තුළ ලකුණු 20කට කඩුළු 2කි. ඈෂ්ලි ගාඩ්නර් පන්දු ඕවර 4ට ලබා දෙන්නේ ලකුණු 14කි. නිලකුනු පන්දු ඕවර 1කි. ලකුණු ලබා නොගත් පන්දු ගණන 14කි. ජොර්ජියා වර්මා ලක්ණු 21කට කඩුල්ලකි.
ලකුණු 93කට ශ්‍රී ලංකා ඉනිම සීමා වනවිට පරාජය අප ඉදිරියේ තිබිණි. ඒ පරාජය සඳහා සුදුසු සටනක් දෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වූයේ නැත. ලකුණු 93ක් බෝඩ් එකේ තබාගෙන තරග දෙන්නට යැයි උන්නට කියන්නටත් බැරිය. ඒත් හරිහමන් විදිහට පන්දු යවන්නටත් ශ්‍රි ලංකා කණ්ඩායම අපොහොසත් වුන බව කිව යුතුය.
ගිය වර විස්සයි විස්ස ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩිකාව වූයේ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණිය වූ බ්‍රෙත් මූනිය. එහෙත් ඇය පසුගිය අන්තර්ජාතික විස්සයි විස්ස තරග 05 තුළ සාර්ථක වූයේ නැත. ඒ අසාර්ථකත්වය මූනි අද බින්දාය. ඇය පන්දු 38කට නොදැවී ලකුණු 43ක් ලැබුවාය. ඒ හතරේ පහර 04ක් ද සමගිනි. ඉනිම ඇය වටා ගොඩනැගිනි. ඇලිස් පෙරී ලකුණු 17ක් පන්දු 15ක් තුළ ලැබුවාය. ඈෂ්ලි ගාඩ්නර් පන්දු 15ක දී ලකුණු 12ක් ලැබුවාය.
පන්දු ඕවර 14.2 තුළ ඉතා පහසුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළේය.
” අපි පසුගිය මාස දෙක තුළ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළා. නමුත් අවාසනාවකට, අපි පාකිස්තානයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැරදුණා. අපේ පිතිකරණය දුර්වල වෙලා තියනවා. නමුත් අපට මේ දේවල් ගැන පැමිණිලි කළ නොහැකියි. අපට සෑම විටම ධනාත්මකව ක්‍රීඩා කළ යුතුය. පිතිකරණ ඒකකය මුල් පිතිකරුවන් සිවු දෙනා මතයි යැපෙන්නේ. මේ තත්ත්වය අපි ඉදිරි තරගවලදී ආපසු හැරවිය යුතුයි අපේ ගැහැනු ළමයින් ඩුබායිහි දස්කම් දක්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු කීවාය.
අපට තව තරග දෙක්ක ඉතිරිව ඇත. ඔක්තොම්බර් මස 09 දා ඉන්දියා කණ්ඩායම සමග ඩුබායිවලය. අනෙක නවසීලන්තය සමග ඔක්තොම්බර් 12 වැනිදා සාජාවලය. මේ තරග දෙකම ලේසි නැත.
කණගාටුවෙන් කිව යුත්තේ අපේ ඛාණ්ඩයේ සිටින පොඩිම කණ්ඩායමටත් පැරදි ඉහළම කණ්ඩායමටත් පැරදී ඉන්න අපට මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයත් දැන් බොහෝ දුර බවය.







