ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර හිටපු ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලී අරුණතිලක ට එරෙහිව කැන්බරා ෆෙඩරල් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ පළවූ මාධ්‍ය ප්‍රචාරය පිළිබඳ ප්‍රතිචාර දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ තීන්දුවට හේතු වූ මහ කොමසාරිස්වරියගේ නිවසේ සිටි සහායිකාවට විදේශ අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද දීමනා ලබා දුන් බවත් එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට නිවාසවල සේවිකාවන් තබා ගැනීමට අමාත්‍යාංශය විසින් පහසුකම් සපයන බවත් පවසයි.
මෙම සේවිකාව වසර තුනක් සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු රහසිගතව නිවසින් පැනගොස් ඇති බවද සදහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එවන ලද සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.
මාධ්‍ය නිවේදනය
කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය
කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
ඔවුන්ගේ නිල නියෝජන රාජකාරිවලට සහය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම සිද්ධියට අදාළ ගෘහ සහායිකාව තුන් වසරක පූර්ණ සේවා කාලයක් නිමා කොට තිබූ අතර, ස්වකීය සේවායෝජිකාව ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට අදහස් කොට තිබූ දිනට පෙර දින සේවායෝජිකාවගේ නිල නිවෙසින් රහසින් පළා ගියාය.
ගෘහ සහායිකාවගේ වැටුප වශයෙන් අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ දීමනාව ඇයට ගෙවා තිබේ. අන්‍යොන්‍ය වශයෙන් ගිවිස ගත් පරිදි සේවායෝජිකාව විසින් ගෘහ සහායිකාවට එම වැටුප ගෙවන ලද බවට අමාත්‍යාංශය සෑහීමට පත් වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 අගෝස්තු 17 වැනිදා







