මනම්පිටිය නිමල් ජයරත්න –
ඊයේ (12 ) රාත්‍රියේ දි සිවිල් ඇඳුමින් සැරසී යතුරු පැදි දෙකකින් පැමිණි පොළොන්නරුව දියබෙදුම පොලිසියේ නිලධාරීන් සිවු දෙනෙක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අතරමග දී අමානුෂික ලෙස පොලුවලින් පහර දෙන සිද්ධියක් සීසීටීවී දර්ශනවල සටහන්ව තිබේ.
මේ අමානුෂික පහරකෑමට ලක්වන්නේ දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 වියැති මහේෂ් රණරාජා විජේසුරිය නැමැති පෙදරේරුවෙකි. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
පහරකෑමට ලක් වු පුද්ගලයා පවසන්නේ තමන් නීති විරෝධී අරක්කු විකුණන බවට සිවිල් ඇඳුමින් සැරැසී සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා චෝදනා කළ බවත්, අනතුරුව තමන්ගේ ජංගම දුරකථනය පැහැරගෙන බලහත්කාරයෙන් තමන්ව යතුරුපැදිය නන්වාගෙන ගිය බවය.
අනතුරුව දිග්ගල්පිටිය ප්‍රදේශයේ, මූල්‍ය බැංකුවක් අසලදී පොලු හා අතින් පයින් පහරදි මෙම පොලිස් නිලධාරීන් තමන් දිය බෙදුම පොලිසියට රැගෙන ගිය බවද ඔහු පවසයි. සිද්ධිය ඔහු විස්තර කරන්නේ මෙසේය.
පසුව තමා පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයකින් තමාට සිදුවූ සිද්ධිය පිළිබඳ නිවසියන් දැනුවත් කළ බවත් අනතුරුව නිවැසියන් පැමිණ තමා පොලිස් ඇප පිට නිවසට රැගෙන ගිය බවත් ඔහු කීවේය.
තමාට දිග්ගල්පිටිය ප්‍රදේශයේ මූල්‍යය බැංකුවක් අසලදී පහරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවල හොඳින් සටහන් වී තිබෙන බවත් තමා මේ පිළිබඳ පොලිසියට වෙනම පැමිණිල්ලක් නොකළේ පොලිසිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමති නිසා බවත් ඔහු කියයි.
මේ පිළිබඳ ආරක්ෂක ඇමතිවරයා ඇතුළු පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසද තමා ඉල්ලා සිටින බව රණරාජා විජේසූරිය ඉල්ලා සිටියේය.

අප මේ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී. මධුසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, පහරදුන් සිව්දෙනාට විරුද්ධව ඉදිරී පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.







