දිනසේන රතුගමගේ –
ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් බී.අරියනේත්‍රන් අද ( 8 ) තෝරා පත් කරගෙන තිබේ.
උතුරේදී සන්ධානගතව සිටින දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයින් විසින් යාපනයේදී කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී ඔහුව තෝරා පත් කරගෙන ඇත.
දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීම සදහා පුද්ගලයින් තුන් දෙනෙකුගේ නම් ඉදිරිපත් වූ අතර එම තිදෙනාගෙන් අවසන් වරට තෝරා ගන්නා ලද්දේ බී.අරියනේත්රනය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය (ITAK ) හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF ) මෙම සන්ධාන ගත පක්ෂ හතට ඇතුළත් නොවේ.
එම පක්ෂ හතේ සන්ධානය උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරනගේ දැඩි වුවමනාව මත පිහිටුවා ගන්නා ලද්දකි.
දෙමළ පක්ෂ ගණනාවක් දෙමළ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම නිෂ්ඵල කාරණයක් බව පෙන්වා දුන් අවස්ථාවේ විග්නේස්වරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජයග්‍රහණය කිරීමට නොහැකි වූවත් දෙමළ ජනතාවගේ බලය පෙන්වීම සඳහා මේ අවස්ථාව ඉතා කදිම අවස්ථාවක් බවය.







