ලලිත් චාමින්ද –
එකතු කළ අගය මත අයවිය යුතු (වැට්) හිග බදු මුදල් සහ එම හිග බදු මත පනවන ලද දඩ මුදල් වශයෙන් රුපියල් බිලියන 369 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව මගින් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මින් රුපියල් බිලියන 255ක වු හිඟ වැට් බදු ආදායම විවිධ හේතුන් මත අයකරගැනිම තාවකාලිකව අත්හිටුවා තිබුණි. මින් අයකරගත හැකි ලෙස හදුනාගෙන තිබු එකතුකළ අගය මත හිඟ බදු මුදල වු රුපියල් බිලියන 114ක් මුදලද අයකරගැනිමට කටයුතු කර නොතිබුණි.
මෙකී හිඟ බදු මුදල අතර වසර 13ක කාලයක සිට පැවත එන හිඟවැට් බදු මුදලක් ද පවතින බව විගණන වාර්තාවේ සඳහන් වේ.
භාණ්ඩ හා සේවා අලෙවිය මත මෙම බදු මුදල් අයකරණ අතර මෙම හිඟ බදු මුදල මේ වනවිට සාමාන්‍ය ජනතාවගෙන් වැට් බදු ලෙස මේ වනවිටත් පුද්ගලික හෝ රාජ්‍ය ආයතන විසින් එකතුකරගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
පොදු දේපළක් ලෙසද සැලකිය හැකි මෙම බදු මුදල් අදාළ පාර්ශවයන් විසින් රජයට ලබා නොදි තමන් සතුව රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අදාළ පනත ප්‍රකාරව වසර පහමාරක කාලයක් තුළ දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව විසින් නිසි පරිදි කටයුතු නොකිරිම හේතුවෙන් රුපියල් බිලියන 22 හිඟ වැට් බදු හා දඩ මුදල් රජයට අයකරගැනිමේ අවදානමක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අයකරගත යුතු හා අයකළ හැකි ලෙස හඳුනා ගන්නා ලද වැට් බදු ආශ්රිත ආදායමෙන් සියයට 20ක ආසන්න ප්‍රමාණයක් අයකළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්වන පරිදි කල්ගත කරතිබිම තුළ දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව මනා කාර්යක්ෂමතාවයකින් සහ වගකිමකින් කටයුතු කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.







