-
2023 එක්දින ලෝක කුසලානයේ වෙන්න ගිය දේ ඈෆ්ගන් කණ්ඩායම නවත්වා ගනී. මැක්ස්වෙල් සහ ඇෆ්ගන් කණ්ඩායම අතර තරගයෙන් මැක්ස්වෙල් පරාදයි…
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දැවැන්ත පෙරළියක් සිදුවූයේය. ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අප උපකල්පනය කළ කණ්ඩායම් අතර සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
ඇෆ්ගනිස්ථානය ලබා දුන් ලකුනු 148ක ඉලක්කය ලබා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වූයේ නැත. ඉතිහාසගත පරාජයක් සහිතව ඔවුහු ලකුණු 127කට දැවී ගියහ. ඇෆ්ගනිස්ථානය ලකුණු 21ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය.
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ලැබූ ලකුණ සංඛ්‍යාවේ එකතුව ලකුණු 275කි. ඇෆ්ගනිස්ථාන සහ ඔස්ට්‍රේලියා විස්සයි 20 තරග ඉදිහාසයේ කණ්ඩායම් දෙකම එකතු වී ලබා ගත් අඩුම ලකුණු ගණන එයය.
ඊයේ (22) කිංස්ටවවුන් සෙන්ට් වින්සන්ට් හි ආනොස් වෙල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී කාසියේ වාසිය දිනුවේ ඔස්ට්රේලියානුවන්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
ඇෆිගනිස්ථාන ආරම්භය විශිෂ්ට එකක් විය. මුල් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ සම්බන්ධතාවය ලකුණු 118කි. ආරම්භක පිතිකරුවන් දෙපළම අර්ධ ශතක ඉක්මවූහ. රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 60කි. පන්දු 49කට මුහුණ දී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් ඔහු එල්ල කළේය.
ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 51කි. පන්දු 48කට මුහුණ දුන් සද්රාන් හතරේ පහර 6ක් එල්ල කළේය. පන්දු ඕවර 15.5 දී මුල් කඩුල්ල දැවී යන්නේ 118කට ය. එහෙත් ඉන් අනතුරුව එන කිසිම පිතිකරුවෙකුට ලකුණු අතරට එන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ නුදුන්හ. පන්දු ඕවර 20 අවසන් වනවිට ඔවුන්ට වාඩාත් පහසු ඉලක්කයක් සේ පෙනෙන ලකුණු 148කට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සීමා කරන්නට ඔස්ට්‍රේලියාවට හැකි විය. ජාත්‍යාන්තර විචාරකයින් පවා වැඩි බරක් තිබ්බේ ඔස්ට්‍රේලියානු ජයග්රහණයටය.
පැට් කමින්ස් ලකුණු 28කට කඩුළු 03ක්, ඇඩම් සම්පා ලකුණු 28කට කඩුළු 02ක්, මාර්කස් ස්ටොනික් ලකුණු 19කට කඩුල්ලක් ලැබුවේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණියේය. ඇෆ්ගනිස්ථාන පන්දුකරණය ඔස්ට්රෙලියානුවන්ට එල්ල කළේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන තරම් බිහිසුණු ප්රහාරයකි. ආරම්භක පිතිකරු ට්‍රෙවිස් හෙඩ්ගේ කඩුල්ල ඇෆ්ගන් ආරම්භක පන්දු යවන්නා වූ නවීන් උල් හක් යැවූ තුන් වැනි පන්දුවේ දී කුඩු වී ගියේය. ඔහු ලකුණු ලැබුවේ නැත.
ඔස්ට්‍රේලියානු පතාක යෝධයා වූ ඩේවිඩ් වෝනර් ලකුණු 3කට දැවී යන්නේ මොහොමඩ් නබී ගේ පන්දුවක් හමුවේය. නූර් අහමඩ් ෂොර්ට් ෆයින්ලෙග් හි සිට උඩපන්දුවක් රැක ගත්තේය.
ඔස්ට්‍රේලියානු බලවත් පිතිකරණ ලයිස්තුව පෙරහර යනවාක් සේ එකා පිට එකා දැවී ගියේය. මිචෙල් මාර්ෂ් ලකුණු 12කි. මිචෙල් මාර්ෂ් ලකුණු 12කි. මාර්කස් ස්ටොනික් ලකුණු 11කි. ටිම් ඩේවිඩ් ලකුණු 02කි. මැතිව් වේඩ් ලකුණු 5කි. පැට් කමින්ස් ලකුණු 03කි. ඇෂ්ටන් අගාර් ලකුනු 2කි. ඇඩම් සම්පා ලකුණු 09කි.
කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් හුදකලා සටනක ග්ලෙන් මැක්ස්වෙල් යෙදෙමින් සිටියේය. මැක්ස්වෙල් පන්දු 41ක දී ලකුණු 59ක් ලැබුවේය. යළි සිහිවෙමින් තිබුණේ 2023 නොවැම්බර් මන 07 වැනිදා ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ඉතිහාසගත ලෝක කුසලාන තරග ය ය. ලකුණු 291ක ඉලක්කයක් හඹායමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 7ක් ලකුණු 91කට දැවී ගොස් තිබූ අවස්ථාවේ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටම ඉනිම ක්‍රීඩා කරමින් පාදයේ ආබාධයක් ද සහිතව පිටියට පැමිණි මැක්ස්වෙල් නොදැවී ද්විත්ව ශතකයක් සහිතව ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ආකාරය ඔහුගේ පිති කරණය තුළ පෙනෙමින් තිබුණේය.
නමුත් එදා කතාව ඊයේ වෙනස් විය. 15 වැනි පන්දු ඕවරයේ 4 වැනි පන්දුවේ දී ගුල්බඩින් නබි එවූ පන්දුවකට බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි නූර් අහමඩ් විශිෂ්ට උඩපන්දුවක් බිම පෙරළී රැක ගත්තේය.
මැක්ස්වෙල් ලකුණු 59කට දැවී යන්නේ කණ්ඩායම ලකුණු 106ක් ලබා සිටිය දී 6වන කඩුල්ල ලෙසිනි.
එතැන් සිට ලකුණු 21 තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම දවා ගන්නට ඇෆ්ගන් පන්දු යවන්නෝ සමත් වූහ.
විශිෂ්ටම පන්දු යැවීම ගුල්බඩින් නබී ගෙනි. නබී කණ්ඩායමට එක් වන්නේ පිතිකරණය ප්රමුඛ කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසය. ඔහු දකුණතින් මද වේග පන්දු යවන්නෙකි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු කවරෙක්දැයි නබී අද ලෝකයට කියා දුන්නේය.
ඔහු පන්දු ඕවර 4ක් යවා ලකුණු 20කට ඔස්ට්‍රේලියානු කඩුළු 04ක් බිඳ හෙලුවේය. තරගයේ වීරයා වූයේ නබී ය. නබී ක්‍රීඩාගාරයට යන්නේ ක්‍රීඩකයින්ගේ කර මතිනි. ඊවේ මුළු ක්‍රිකට් ලෝකයම අමන්දානන්දයට පත් කළ ක්‍රීඩකයා ඔහුය.
එවැනිම වික්‍රමයක් ආරම්භක වේග පන්දු යවන නවීන් උල් හක් සිදුකළේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 20කට කඩුළු 03කි.
අස්මතුල්ලා ඕමාර්සායි, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන් කඩුල්ල බැගින් ලැබූහ. රෂීඩ් සිය පන්දු ඕවර 4 තුළ ලබා දුන්නේ ලකුණු 23ක් පමණි.
මේ ජයග්‍රහණය සමග වුවද පළමු ඛාණ්ඩයේ ඉහළින්ම සිටින්නේ අපරාජිත ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ය. ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්‍රේලියාව තරග එක බැගින් පරාජය වී ඇතත් ලකුණු ලබා ගැනීමේ වේගය මත ඔවුන් ඇෆ්ගනිස්ථානයට ඉදිරියෙනි. තරග දෙකම පැරදුන බංගලාදේශය ලකුණු සටහනේ සිව්වන තැනය.
දෙවැනි ඛාණ්ඩයේ අපරාජිතව සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම මුල් තැනය. බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු ලබා ගැනිමේ වේගය මත දෙවැනි තැනය.